ISIS ත්‍රස්ත සංවිධානය සමග සබදතා පැවැත්වු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු ගැන යහපාලන ආණ්ඩුවේ මංගලම් සමරවීර හා සාගල රත්නායක වෙත පෞද්ගලිකව දැනුම්වත් කළත් ප්‍රහාරය වනතෙක් ඒ ගැන අවධානය යොමු නොකළ බව හිටපු අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් මොහිදීන් අබ්දුල් ගෆූර් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ දී හෙළි කළේය.
එවකට මංගල සමරවීර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද සාගල රත්නායක නීතිය හා සාමය පිළිබදව ඇමතිවරයා ලෙස ද කටයුතු කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේද මේ ගැන ප්‍රකාශයක් ලබාදීමට අවස්ථාවක් ඉල්ලා සිටියද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඊට අවස්ථාවක ලබා නොදුන් බවද ඔහු කීය.
මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා ඔහු පැමිණ තිබුණේ ඔහු විසින් කොමිසමට කළ ඉල්ලීමකින් පසු ස්ව කැමැත්තෙනි. ඒ බව සභාපති විනිසුරු ජනක්ද සිල්වා මහතා තහවුරු කළේය.
ඔහු අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස සේවයේ නිරතව සිට ඇත්තේ 2015 සිට 2019 වසර දක්වාවා කාලය තුළය.
තමන්ට උසස්පෙළ අධ්‍යාපනය ලබාදුන් ගුරුවරියක විසින් 2016 වසරේදී දුරකතන ඇමතුමක් ලබාදී තම පුත්‍රයා වන වයස 23ක් පමණ වන ආශික් නැමැත්තා ISIS සංවිධානය සමග සබදතා පවත්වන බව පැවසූ බව ඔහු අනාවරණය කළේය.
එම ගුරුවරිය තම පුතුට ඉන් ඉවත් වන ලෙස පවසා ඇතත් ආශික් නැමත්තා “ඔබවත් මරන්න මට ඉහලින් නියෝග තිබෙනවා.” යැයි මවට මරණ තර්ජන එල්ල කර ඇතැයි සාක්ෂිකරු කීය.
මෙම තත්ත්වය හමුවේ තමාට ද තර්ජනයක් එල්ලවීමට ඇති ඉඩ වැඩි බව තමාට වැටහීම නිසා ඝෘජුවම ඔහු සමග මේ ගැන කතාබහ කිරීමට නොගිය බව සාක්ෂි දෙමින් පැවැසීය.
ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් දැනුවත් කර යම් පියවරක් ගැනීමට තමා තීරණය කළ බවද විනිසුරුවරයා පැවැසීය.
එබැවින් තම ඥාතියකු හරහා එවකට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවීමට තමන්ට අවස්ථාවක් ලැබුණු බව ඔහු කීය.
අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දේශපාලකයකු හමුවීමට ගියේ මන්ද යන්න කොමිසම එහිදී සාක්ෂිකාරුගෙන් විමසා සිටියේ ය.
ඔහු එහිදී කීවේ ” ඒ කාලේ හරිම භයානකයි. ඒ දවස්වල තිබුන තත්තවය අනුව පහළ ඉදල උඩට යනවට වඩා ඉහල ඉදලා පහලට යන්න ඕනේ නිසයි එවන් හමුවීකට සම්බන්ධ වුනේ. නැත්නම් වෙන වෙන ප්‍රශ්න ඇතිවෙන්න තිබුණා.” යනුවෙනි.