පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න! රටටම එක නීතියක් ස්ථාපිත කරන්න! ආත්මාර්ථකාමී ජයග්‍රහණ නොව රට ගැන සිතන්න! – කතෝලික රදගුරු මණ්ඩලය

May 14, 2019 at 8:00 am | by admin

පාස්කු ඉරිදා සිදු වූ කුරිරු ප‍්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති ජේ. වින්සන් එස්. ප‍්‍රනාන්දු රදගුරුතුමන් සහ එහි මහ ලේකම් වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන්ගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මේ වනවිට සති තුනක් පසු වී ඇති අතර මෙම කුරිරු ම්ලේච්ඡ ප‍්‍රහාරයෙන් අහිංසක සිවිල් වැසියන් 250 වඩා වැඩි පිරිසක් මියගොස් ඇති අතර 500 දෙනකුට වඩා තුවාල ලබා ඇත.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත සිට උන්වහන්සේගේ සතුරන්ට ප‍්‍රචණ්ඩකාරී ප‍්‍රති ක්‍රියාවක් වැළැක්වූවාක් මෙන් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ආදර්ශය අනුගමනය කරමින් මෙවැනි කෲර ප‍්‍රහාරයක් මත්තෙහි වුව ද කිතුණු ජනතාව පෙන්නුම් කරන ලද ඉවසීමෙන් සහ සංයමයෙන් යුත් ප‍්‍රතිචාරය අප කතෝලික රදගුරු මණ්ඩලය නැවත වරක් අගය කළහ. එකම දේශයක ජනතාවක් වශයෙන් විවිධ ආගම්වල අන්තවාදයෙන් බැහැරව, සෑම ආගමකටම අනන්‍ය වූ සුවිශේෂීභාවය අප එකිනෙකා පිළිගැනීම සහ ගරු කිරීම අවශ්‍යයි.

පෙර නොවූ විරූ මානව හානියට හේතු පාදක වූ ජාතික ආරක්ෂක තත්ත්වයේ හෙළිදරව් වූ අඩුපාඩුව රජය පිළිගෙන ඇත. මෙම කෲර ක්‍රියාව මගින් බොහෝ ජීවිත අහිමි කරවීමට වගකිවයුතු සකල සියලු දෙනාටම එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

මේ ආකාරයේ අන්තවාදී දෘෂ්ටිවාදය මුදුන්පත් කරගනිමින් සිදු වී ඇති අවාසනාවන්ත කෲර ක්‍රියාවලියට වැරදිකරුවන් සොයා ගැනීම සඳහා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට රජය ක්‍රියාත්මක වේ යයි කතෝලික රදගුරු මණ්ඩලය බලාපොරොත්තු වෙයි.

තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආරක්ෂක හමුදා සහ පොලිසියේ මැදිහත්වීම සහ කැපවීම අගය කරමු. ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන තෙක් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු විය යුතුය. සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන තෙක් ජන ජීවිතය යථා තත්ත්වයට පත් නොවෙයි.

මෙම සිදුවීම් පිළිබඳව දැනුවත් කිරීමට අප රටේ සියලූ නායකයන් මුණගැසී ඇති අතර, සමාජය වෙලාගෙන ඇති සැකය, සංකාව සහ භීතිය ඉවත් කිරීමේ දැඩි අවශ්‍යතාවය නැවත නැවතත් අවධාරණය කර ඇත. ආගම, කුලය හෝ වර්ණය නොසලකා මුළු රටටම එකම නීතියකින් පරිපූර්ණ විය යුතුය.

ජනතාවට සාමය සහ සැබෑ නිදහස භුක්ති විඳීමට හැකි වන්නේ සත්‍යය සහ යුක්තිය නැවත පිහිටවනු ලැබූ විට පමණි. දේශපාලන මතවාද සහ ආත්මාර්ථකාමී ජයග‍්‍රහණ අමතක කර ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා බැලීමට උචිතම කාලය මෙයයි. මේ අප රටේ ඇති වී ඇති අඳුරු මොහොතේදී දුක් විඳින ජනතාව සමඟ එක් සිත්ව අප මවුබිම වෙනුවෙන් යදින ලෙස ද හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.

අපගේ ආදරණීය මවුබිම එකම ලාංකේය ජනතාවක් ලෙස සිතා, සාමය සහ එක්සත්කම කරා ගමන් කරන, යුක්තිය සඳහා ආයාචනා කරන ආගමික නායකයන් දැනටමත් අප සමඟ අත්වැල් බැඳගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස