පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ මෛත්‍රීපාලයි…! ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි…! – ප්‍රසන්න…

November 26, 2021 at 1:52 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබෙන ජල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා යක්කල වීදියවත්ත ප්‍රදේශයේ ජල කුලුනක් ඉදි කිරීම සඳහා අද (26) මුල්ගල තැබීමේ අවස්ථාවට ඇමැතිවරයා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරහ කෙනෙක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ ආරම්භය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ ගෞරවය දෙනවා. නමුත් පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවපු පුද්ගලයන් පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා.

ඒ නිසා තමයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච එකෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂය විනාශ කළා. ඒගොල්ලො අද මේ ආණ්ඩුවත් විනාශ කරන්න හදන්නේ. පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ.

හැමදාම එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන ඉඳගෙන මම කතා කරනවා. පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු එළියෙ කතා කරන දේවල් අපි අහගෙන හිටියා. හැමදාම කටවහගෙන ඉන්න බැහැ. ඒ කියන දේවල්වලට උත්තර දෙනකොට සමහර අයට රිදෙනවා. එහෙම රිදෙන කොට ඒගොල්ලො කියන දේවල්වලට වඩා ගොඩක් දේවල් අපිට කියන්න වෙයි.

මම හැමදාම මගේ මතය කියපු කෙනෙක්. ආණ්ඩුව හැටියට ශක්තිමත්ව ඉදිරියට යන්න නම් සෘජු තීරණවලට යන්න ඕනේ. ආණ්ඩුව ඇතුළේ කවුරුහරි ඉන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඇතුලේ ඉඳගෙන සියලු වරප්‍රසාද අරගෙන බොරුවට කෑ ගහන්නේ නැතුව එළියට යන්න පුළුවන්.එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ.

ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය නැහැ. චන්ද්‍රිකා මැතිනිය ආණ්ඩුවක් ගෙනිච්චා එක මන්ත්‍රී කෙනෙක්ගෙන්. යන අය ඔක්කොම එළියට ගියත් අපිට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *