පාස්කු ප්‍රහාරයට වගකිව යුතු කිසිම රාජ්‍ය නිලධාරියකුට පැනලා යන්න දෙන්නේ නෑ! ඔක්කෝටම ජනාධිපතිතුමා නඩුු දානවා! – මහින්ද අමරවීර

June 14, 2019 at 8:02 am | by emanisa.lk

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් වන සියලු රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වනවිට එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති වරයා වෙත ලැබී ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී එම වාර්තාව ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (13) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

ජනාධිපතිවරයා විසින් පත් කළ එම කමිටු වාර්තාව මගින් වරදකරුවන් වන නිලධාරීන්ට කිසිදු ආකාරයකින් පැන යෑමට ඉඩක් ලබා නොදෙන බව කී ලේකම්වරයා මේ වන විට ඔවුන් කරන ලද ප‍්‍රකාශ තුළින් පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ හොඳ හැටි දැන සිටි බව කාටත් වැටහෙන බවද කීවේය.

ආරක්ෂක ලේකම්, බුද්ධි ප‍්‍රධානී සහ පොලිස්පති තමන්ට පැවරී ඇති වගකීම් නිසියාකාරව ඉටු කර නැති බවට ඔවුන් විසින්ම කරන ප‍්‍රකාශවලින් මුළු රටටම දැන ගත හැකි බව ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධාන දුමින්ද දිසානායක මහතා එම අවස්ථාවට සහභාගි වෙමින් සඳහන් කළේය.

අප්‍රේල් 4 වැනිදා සිට ප‍්‍රහාරය සිදුවන 21 වැනිදා දක්වාම එම නිලධාරීන් ප‍්‍රහාරය පිළිබඳව දැන සිටි බවත් අඩුම තරමින් ඔවුන් දේවස්ථාන ඉදිරිපිට පොලිස් නිලධාරීන් හෝ යොදවා සිටියේ නම් මෙම ප‍්‍රහාර වළක්වා ගැනීමට තිබුණු බවත් කීවේය. එම නිසා මෙම ප‍්‍රහාරය ගැන සම්පූර්ණ වගකීම නිලධාරීන් භාරගත යුතු බව කී ඒ මහතා දේශපාලන නායකත්වය තිබුණත් නිලධාරීන්ගේ තමන්ගේ වගකීම ඉටුකිරීම ඔවුන්ගේ වගකීම බවද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස