පාස්කු කොමිසමේ තීන්දු අනුව අපරාධකරුවන්ට නඩු පවරනවා…! ඊට බලපෑම් කරන්න චමල්ගේ කමිටුවට බෑ…! – ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්…

February 23, 2021 at 9:41 am | by emanisa.lk

ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තව දුරටත් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ඇමැති කමිටුවද ඊයේ පස්වරුවේ රැස් විය. එම අධ්‍යයන කමිටු වාර්තාව මාර්තු 15 වැනි දින ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණි. එම ජනාධිපති කොමිසම් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමේ සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවන බවත් ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරෙන බවත් එම නිවේදනයේ සඳහන්වේ.

මෙම කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට රටේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමයි. කොමිෂමේ නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට හැකියාවක් නැති බව ද එහි සඳහන් ය.

පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම කමිටුවට අයත් කාර්යයක් නොවේ. මේ තත්ත්වය යටතේ මෙම පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරැදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටින්නේ යැයි ද එම නිවේදනයේ දැක්වේ.

ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිසම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළයුතුව තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස