පාස්කු කමිටුවේ විනිසුරු ඇමති රවීට බැඳුම්කර කොමිසම හමුවේ බොරු කීවේ යැයි නඩු! රවියි දුවයි දෙන්නාම CIDයට!

May 31, 2019 at 7:20 am | by admin

විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේදී අසත්‍ය ප‍්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය ඊයේ (30) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නාය.

එලෙස මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප‍්‍රකාශ කිරීම ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 189 වගන්තිය යටතේ ගැනෙන වරදක් බැවින් අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

රවි කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට‍්‍රාන්ස්පොටේෂන් පුද්ගලික සමාගමට අදාළ ආදායම් වියදම් විස්තර, බැංකු ගිණුම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ලබාදෙන ලෙසට රවි කරුණානායක මහතාගේ දියණිය වන ඔනෙලා කරුණානායකට 2019.2.28 වැනිදා අධිකරණය විසින් නියෝග කොට ඇතත් මේ දක්වා එකී නියෝගය අනුව කටයුතු නොකිරීම නිසා විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

ඔනෙලා කරුණානායක ලබන 6 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය විට තම අධිකරණය විසින් 2019.2.28 වැනිදා කරන ලද නියෝගය අනුව අවශ්‍ය ලේඛන ලබා නොදීම සම්බන්ධයෙන් විමසන ලෙසත්, ඉන් අනතුරුවත් තම අධිකරණය විසින් කරන ලද නියෝගය චේතනාන්විතව මගහැර සිටින බව පෙනී යන්නේ නම් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 172 වගන්තිය යටතේ ඔනෙලා කරුණානායකට එරෙහිව චෝදනාවක් ගොනු කරන ලෙසත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපතිවරයාට නියෝග කළාය.

ඇමති රවී කරුණානායක මේ දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයකු ලෙස රටේ ආරක්ෂක අංශවලින් ප්‍රශ්න කරනු දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස