පාසල් නැවත ආරම්භයට මාර්ගෝපදේශන සමුදායක්! මෙතෙක් පැවති බොහෝ ක්‍රමවේද වෙනස් වන හැඩ!

May 10, 2020 at 7:51 am | by emanisa.lk

පාසල් යළි ආරම්භ කිරීමෙන් පසුවද පරිශ‍්‍ර තුළ රැස්වීම්, ප‍්‍රදර්ශන, කී‍්‍රඩා උත්සව ආදී සමූහික කටයුතු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කර තිබේ. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසිනි.

පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ අතුරු මාර්ගෝපදේශය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් යොමු කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට මෙන්ම අනෙකුත් ආරක්‍ෂිත ක‍්‍රමවලට අනුගත වීමට හැකි නම් පමණක් රැස්වීම් පැවැත්විය හැකිය. ඒ, පාසල් සිසුන්ට හෝ කාර්ය මණ්ඩලයට අත්‍යවශ්‍ය පණිවිඩ බෙදාහැරීමට පමණි. එමෙන්ම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගනිමින් සිදුකරන ව්‍යායාමවල නිරත විය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීමට අපහසු කිසිදු ආකාරයේ කී‍්‍රඩාවක ළමුන් නිරත නොවිය යුතු බවද එම නිර්දේශයන්හි සඳහන්ය.

එසේම පාසලට ඇතුළු වන සෑම අයෙකුම පරීක්‍ෂා කිරීම සඳහා ගේට්ටුව අසල පරීක්‍ෂකයෙකු යෙදිය යුතුය. මෙහිදී සැක සහිත රෝග ලක්‍ෂණ ඇති අයෙකු හමු වුවහොත් එම පුද්ගලයා නැවත නිවසට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කරනු ඇත. පාසල් ගේට්ටු අසල කිසිදු මව්පියෙකු එක්රැස් නොවිය යුතු බවද අවධාරණය කර තිබේ.

නිවසේ සිට පාසලට පැමිණ නැවත නිවසට යන තෙක් සෑම අයෙකුම මුඛ ආවරණයක් පැළදීම අනිවාර්ය වේ. එමෙන්ම ගුරුවරුන්, සිසු දරුවන් සහ අනෙකුත් පාසල් කාර්ය මණ්ඩල පිළිබඳ හදිසි ඇමතුම් සබදතා සහ පෞද්ගලික තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ද පවත්වා ගත යුතුයි.

මේ අතර පාසලට ඇතුළුවීමට පෙර ගේට්ටුව අසල දෑත් සේදීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බව, පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ අතුරු මාර්ගෝපදේශයේ ඇතුළත් වේ. පාසල ආරම්භ කිරීමේ වේලාවට පෙර දිනපතා පාසල් ගොඩනැගිලි, පන්ති කාමර, පඩිපෙල පිරිසිදු කිරීම හා විෂබීජහරණයද කළයුතුය. පොදුවේ භාවිත කරන දොරටු හැකිතාක් විවෘතව තැබීම යෝග්‍ය බවයි මෙහිදී පෙන්වා දී ඇත. එමගින් දෑත්වලින් දොරටු ස්පර්ශවීම අවම කරගත හැකි වෙයි. පාසලේදී ද දෙදෙනෙකු අතර පරතරය මීටරයක් හෝ ඊට වැඩි ශාරීරික දුරස්ථභාවයක්ද පවත්වා ගත යුතුය. පාසල ආරම්භයේදී හෝ අවසානයේදී ළමුන් සාමාන්‍ය පරිදි එක්රැස්වීමෙන් වැළකිය යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.

පාසල් විවේක කාලය ලබාදීම, පන්ති කාමරයෙන් බාහිරව සිදුකරන කටයුතුවලදී එක් එක් ශ්‍රේණි සඳහා විවිධ වේලාවන් භාවිත කළයුතු වෙයි. එමගින් විශාල ළමුන් ප‍්‍රමාණයක් එකතැන රැස්වීම වළක්වා ගත හැකියි. කාර්ය මණ්ඩලයේද අත්‍යවශ්‍ය නොවන සියලු ආකාරයේ රැස්වීම්, උත්සව සහ පුහුණුවීම් නතර කළ යුතු වෙයි.

කෙසේ වෙතත් මෙතෙක් පාසල් ආරම්භ වන දිනයක් ප‍්‍රකාශ කර නොමැත. පළාත් මට්ටමින් ඒ පිළිබද නිර්දේශ ඉදිරිපත් කළ යුත්තේ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් යුත් කමිටුවක් විසිනි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ප‍්‍රථමයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා පාසල් විවෘත කරන බවත් එවැනි ළමුන් සිටින සියලු පාසල් එකම දිනක ආරම්භ කරන බවයි. පාසල් විවෘත කිරීමට අදාළ තීරණය හෙටින් ආරම්භ වන සතිය තුළ ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස