පාලකයින්ගේ සියලු වරප්‍රසාද අහෝසි කර ස්වේච්ඡා දේශපාලන සංස්කෘතියක් හදමු…! – සමන්තභද්‍ර හිමි…

May 7, 2022 at 9:20 am | by emanisa.lk

මෙරට දේශපාලනඥයන් හොඳක් කරාවි යැයි සිතා වසර 75ක කාලයක් ජනතාව බලා සිටි බවත් ඔවුන්ට රටට කිසිදු යහපතක් කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බවත් සිරි සමන්තභද්‍ර හිමියෝ පවසති.

ඊයේ (05) මහනුවර දී රට හදන යෝජනාවලියක් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ට පිළිගැන්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එහිමියෝ වැඩිදුරටත් මෙසේ පැවසීය.

පාලනය වෙනස් කිරීමෙන් රටට සෙතක් වේයැයි අවුරුදු 75 ක් තිස්සේ මේ රටේ ජනතාව එය සිදු කළා. නමුත් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබුනේ නැහැ. එසේනම් දැන් කළ යුතුව ඇත්තේ පාලනය වෙනස් කිරීම නොව පවතින ක්‍රමය වෙනස් කිරීමයි.

පාරක් නොදැන අද අපි දුවමින් සිටිනවා. මුලින් කළ යුත්තේ දිවීම නතර කර පාරක් හදා ගැනීමයි. ඒ සඳහා යෝජනා තුනක් මා විසින් රටට ඉදිරිපත් කරනවා. මා ඉදිරිපත් කරන යෝජනාවලියේ කරුණු තුනක් තිබෙනවා. ඒක හරියට දුවන්න හොඳ පාරක් හදා ගන්නවා වගේ වැඩක්. අපි දැන් කරන්නේ පාරක් නැතුව හිතෙන හිතෙන තැනින් දුවන එකයි.

මම ඉදිරිපත් කරන යෝජනා තුනෙන් පළමු වැන්න තමයි සියලුම දේශපාලනඥයින්, ඔවුන්ගේ පවුල්වල අය, සියලුම රාජ්‍ය නිලධාරීන් විගණනය හා විමර්ශනයට ලක් විය යුතුමයි කියන එක. අපිට ජාතික වැඩපිළිවෙළක් නැහැ. එක ආණ්ඩුවක් ඇවිල්ලා කරන දේ ඊළඟ ආණ්ඩුව නතර කරනවා. දශක ගණනාවක් තිස්සේ සිද්ධ වුණේ එයයි.

මේ අයට වසර දහයක් සඳහා කිසිදු කෙනකුට වෙනස් කළ නොහැකි ජාතික වැඩපිළිවෙළක් හදන්න ඕන කියන එක මගේ දෙවන යෝජනාවයි. මාගේ තුන්වෙනි යෝජනාව වන්නේ දේශපාලනයේ නිරත සියලු අය වරප්‍රසාද වරදාන නොගෙන ස්වෙච්ඡාවෙන් තමන්ගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දේශපාලනයක නිරත වෙන්න ඕන.

මේ වෙලාවේ අපි ඉතා ම අසීරු තත්ත්වයට වැටිලා ඉන්නේ. අපේ සංචිත බින්දුවට වැටිලා. මෙහෙම කොහොමද රටක් ඉස්සරහට යන්නේ? හෙට දවස ගැන අපිට විශ්වාසයක් නැහැ. තෙල්, ගෑස්, බෙහෙත් තියේද කියන ප්‍රශ්නය හැමෝට ම තියෙනවා.

පිට රටවල ඉන්න අය මෙරටට ආයෝජන ගේන්න කැමතියි. නමුත් රටේ පාලකයන් ගැන ඔවුන්ට විශ්වාසයක් නැහැ. එම විශ්වාසය ගොඩනැගීමට මෙම යෝජනාවලිය ඉවහල් වෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *