පාර්ලිමේන්තු භාෂා පරිවර්තක තවුහිද් ත්‍රස්තයා අල්ලයි! අකුරණ පොලිස් මාර්ග බාධක ඉවත් කිරිමටත් සැලසුම් කරලා!

May 20, 2019 at 7:40 am | by admin

ජාතික තව්හීද් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමග සමීප සබඳතා පවත්වමින් එහි ප‍්‍රවර්ධන කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදුන් බව කියන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු කුරුණෑගල විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (19 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මුනාස් මොහොම්මදු මුන්ටාස් නමැති මෙම සැකකරු ඉකුත් 2006 වසරේ සිට පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙස රාජකාරි කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ තව්හිද් ජමාත් සංවිධානයේ ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර එහි නායකයා වූ සහරාන් හෂීම් සමග කිට්ටු සබඳතා පවත්වමින් එම සංවිධානයේ දියුණුව සඳහා පූර්ණකාලීනව දායකවී ඇති බවද අනාවරණය වී ඇත.

මොහු පාර්ලිමේන්තුවේ සේවය කර ඇත්තේ රුපියල් එක් ලක්‍ෂ විසි දහසක මාසික වැටුපක් ලබමින් වන අතර පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු මුනාස් නමැති මෙම සැකකරු රාජකාරි සඳහා වාර්තා කර ඇත්තේ දින කිහිපයක් පමණි.

සැකකාර මුනාස් පිළිබඳව පොලිසිය වෙත මුලින්ම තොරතුරු ලැබී ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබලම සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදීය. සහජනන් නමැති මෙම ත‍්‍රස්තවාදියා කුරුණෑගල මහ රෝහලේ ඊ.සී.ජී. පරීක්‍ෂණ අංශයේ ප‍්‍රධානියකු ලෙස රාජකාරි කළ අයෙකි.

මහනුවර අලවතුගොඩ ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන මුනාස් රුපියල් තිස් ලක්‍ෂයක මුදලකට රාජගිරිය ප‍්‍රදේශයේ නිවසක් මිලයට ගෙන එහි තාවකාලිකව නවාතැන් ගෙන සිටිමින් රාජකාරියට වාර්තා කර තිබේ.

මොහු සති අන්තයේ මහනුවර අලවතුගොඩ ප‍්‍රදේශයේ නිවසට යෑමට පුරුදුව සිට ඇති අතර එසේ යන සෑම අවස්ථාවකදීම අකුරණ ප‍්‍රදේශයේ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් සමග සාකච්ඡා පවත්වා ඇත.

අකුරණ ප‍්‍රදේශයට ඇතුළු වන ප‍්‍රධාන මාර්ග හතරක පොලිස් මාර්ග බාධක යොදා තිබීම තම සංවිධානයේ ක‍්‍රියාකාරීත්වයට විශාල බාධාවක් බව එම ත‍්‍රස්තවාදීන් නිතර සාකච්ඡා කර ඇත.

එහිදී මුනාස් පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේදි තමන් දන්නා හඳුනන දේශපාලනඥයන් මාර්ගයෙන් මෙම පොලිස් මාර්ග බාධක ඉවත් කර දැමීමට කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස