ඉන්ධන සොයාගත නොහැකිවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක්ද විවිධ අවශ්‍යතා සඳහා කොළඹට පැමිණීමට නොහැකිව සිය ගම්බිම්වල කොටුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. මින් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරු වෙති.
මේ තත්ත්වය හේතුවෙන් සමහර මන්ත්‍රීවරුන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවට පැමිණියේද හිතවතුන්ගේ වාහනවලින් සහ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාර්ගවලිනි. තවත් සමහර මන්ත්‍රීවරුන් ඉන්ධන ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස සහභාගී වූයේ පාර්ලිමේන්තුවේ එක රැස්වීමකට පමණි.
එසේම ඉන්ධන ප්රශ්නය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පසුගිය දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වූයේද ඉතා අඩු වශයෙනි. පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරුන්ගේ සැලකිය යුතු අඩුවක් මෙනිසා අපට දැකගත හැකිවිය.
ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දැන් බොහෝ දෙනා පාපැදි යොදා ගත්තත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පවතින හෙයින් පාපැදියෙන් ගමන් කිරීමට හැකියාවක් නැතැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ලංකාදීපයට පැවසූහ.
ඈත දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට එක් වාරයක් පැමිණීමට ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වන බවත් එම අධික ඉන්ධන මිල තමන්ගේ ආර්ථිකයට දැන් දරාගත නොහැකි බවත් ඔවුහු පෙන්වා දෙති.