පාර්ලිමේන්තුව යළි කැඳවුවොත් විසුරුවන්න ප්‍රතිපාදන නෑ! 2025 වන තුරු පාර්ලිමේන්තු බලය එජාපයට! – නීතීඥ කපිල ගමගේ ජනපතිට ලියයි…

April 19, 2020 at 2:05 pm | by emanisa.lk

පවතින තත්ත්වය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය යටතේ පැවති පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත් එම පාර්ලිමේන්තුව විසිරවීමෙ බලය ඇත්තේ කාටද යන්න කිසිදු නීතියක නිශ්චිතව සඳහන් නොවන බවත්, හුදෙක් “හදිසි තත්වය අවසන් වීමෙන් පසුව විසිරෙන්නේය” යනුවෙන් දක්වා ඇති නෛතික ප්‍රතිපාදනය ඉතා බරපතල ලෙස අදාල පාර්ලිමේන්තුව විසින්ම අවභාවිතා කිරීමට ඉඩ ඇති බවත් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නීතීඥ කපිල ගමගේ මහතා පැහැදිලිකර සිටී.

ඔහු තම ලිපියෙන් වැඩිදුරටත් පැහැදිලි කරනුයේ එලෙස කැඳවන පාර්ලිමේන්තුව විසිරෙන්නේ “හදිසි තත්වය අවසන්වීම” මත වන හෙයින්, ඒ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායමේ සිටින ආගම්වාදී ඇමතිවරුන් විසින් තම “ජීව අවි” යොදවා කොවිඩ් 19 දිගටම රට තුළ පතුරුවමින් වසංගත තත්වය රට තුළ දිගටම පවත්වාගෙන යාමට ඉඩ ඇති බවයි. එවිට වසංගත තත්වය පෙන්වමින් තවත් වසර පහක් හයක් වුවද ඒ පාර්ලිමේන්තුවම පවත්වාගෙන යා හැකි බව ඔහු තම ලිපියෙන් අවධාරණය කර සිටී.

සම්පූර්ණ ලිපිය පහතින් –

KAPILA GAMAGE
Attorney-at-Law & Notary Public / Condominium Consultant

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය.

අතිගරු ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තුව යළි කැඳවීම කිසිසේත්ම නොකළයුත්තේ කුමක් නිසාද? (නීති-දේශපාලනික විග්‍රහයක්)

අතිගරු ජනාධිපතිතුමනි, මේ මොහොතේ පාර්ලිමේන්තුයව යළි කැඳවීම පිළිබඳව සමාජයේ මතුව එන බොහෝ සංවාදයන්හි අවසන් ඉලක්කය වනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය යටතේ, ඔබතුමන් ලවාම- විසුුරුවාහරිනලද පාර්ලිමේන්තුව යළි කැඳවාගැනීමයි. ඒ වගන්තියෙන් කියැවෙන පියවර හුදෙක් “ජනාධිපතිවරයා සෑහීමට පත්වීමෙන් පසු ඔහු විසින් ක්‍රියාත්මක කළහැකි බලයක්” ලෙස දක්වා ඇති හෙයින් අදාල පාර්ශ්වයේ පළමු සැළසුම(PLAN A) වී ඇත්තේ ඔබතුමන් ම ස්වේච්ඡාවෙන් මේ කාර්යය ඉටුකරන තැනට යොමුකිරීමයි.

දෙවන සැළසුම(PLAN B) වනුයේ- මතුව ඇතැයි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් පෙන්වා, ඔබතුමන්ව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කොට, ලබාගතහැකියයි ඔවුන් සිතන යොමුකිරීමක්/ නිර්දේශයක් ලබාගෙන, ඒ යොමුකිරීම/නිර්දේශය සමාජයට පෙන්වා, ජාතික හා ජාත්‍යන්තර පීඩනයක් ඇතිකොට පාර්ලිමේන්තුව නැවත කැඳවාගැනීමයි.

මේ ක්‍රම දෙකම සිදු නොවන තත්වයකදී තෙවන සැළසුම(PLAN C) ලෙස, වෙනත් කෙනෙකුන් පවරන නඩුවක් හරහා මේ යොමුකිරීම/නිර්දේශය ජනාධිපතිවරයා වෙත ලබාගැනීමට උත්සාහ කිරීමයි. බොහෝ දුරට මේ තෙවැනි අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යන පාර්ශ්වය, මැතිවරණ කොමිසම වුවද ඒ ගැන අප පුදුමවියයුතු නැත. මැතිවරණ නොපවත්වන ලෙසට නියෝගයක් ලබාදෙන්නැයි මෑතදී තමාම අධිකරණයට ගිය මැතිවරණ කොමිසමේ “මහාචාර්ය තුනෙන් පංගුව”, පසුගියදා ප්‍රසිද්ධ කර ඇති ලිපියකින්, ඔහු තුළ ඔබතුමන් කෙරෙහි ඇති ද්වේශයේ තරම ඉතාහොඳින් එළිදක්වා තිබූ බැවිනි.

ජනාධිපතිතුමනි, මේ කවර ආකාරයකින් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව යළි කැඳවීමක් සිදු කළහොත් එලෙස කැඳවන ලද පාර්ලිමේන්තුව යනු “හදිසි තත්වයක් යටතේ”- හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තියට පමණක් යටත් වන කැඳවීමක් බවට පත්වේ. ඒ අනුව එම පාර්ලිමේන්තුවේ කාලය අවසන්වීම ද තීරණය වනුයේ 70(7) උප වගන්තියේ දක්වා ඇති ආකාරයට මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ පාර්ලිමේන්තු මැතිවරණ පණතේ ඇති වෙනත් වගන්තිවලින් නොවේ යයි තර්කයක් මතුකළ හැක. මන්දයත් 70(7) උප වගන්තිය යනු යම් ආකාරයක ව්‍යතිරේඛී වගන්තියක් වනවා සේම, ව්‍යතිරේඛයක් අදාල වනුයේ සාමාන්‍ය තත්වයට/සාමාන්‍ය ප්‍රතිපාදනයන්ට එරෙහිව වන බැවිනි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තුව කෙරෙහි අනුදැන වදාරණ වගන්තීන්- මේ උප වගන්තිය හා ගැටෙනතාක් දුරට අදාල නොවන්නාවූ- අතිවිශේෂ පාර්ලිමේන්තුවක් බවට ඒ “හදිසි තත්ව පාර්ලිමේන්තුව” පත්වනු ඇත. එසේම එම උප වගන්තිය මගින්ම, අදාල පාර්ලිමේන්තුව විසිරෙන ආකාරය දක්වා ඇති බැවින් සහ නීතියේ වෙනත් වගන්තියකින්- මෙවැනි හදිසි තත්වයකදී පාර්ලිමේන්තුව විසිරෙන ආකාරය පිළිබඳව දක්වා නොමැති බැවින්, 70(7) උප වගන්තිය පමණක් එම පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධයෙන් අවසානාත්මක වන්නේය යන්න ඉහත කී තර්කය තවත් ශක්තිමත් කරනු ඇත.
තවද 70(7) උපවගන්තියේ දක්වා ඇත්තේ “පාර්ලිමේන්තුව විසිරෙන්නේය” යන කර්මකාරක ස්වරුපයෙනි. එනම් මෙවැනි හදිසි තත්වයකදී යළි කැඳවන ලද පාර්ලිමේන්තුවක් විසිරවියහැකි කර්තෘ කෙනෙකුන් හෙවත්- අදාල බලය හිමි කිසිදු අධිකාරයක් පිලිබඳව සඳහන් නොවේ. මෙවැනි තත්වයකදී තීරණාත්මක තීන්දුව දියහැක්කේ කතානායකවරයාටද නැතහොත් මැතිවරණ කොමිසමටද එසේත් නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයටදැයි නීතියේ පැහැදිලි ප්‍රතිපාදන දක්වා නොමැත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය යටතේ කැඳවනු ලබන “හදිසි තත්ව පාර්ලිමේන්තුව” කවදා හෝ දිනෙක නිරායාසයෙන් විසිරෙන්නේ,

එක්කෝ එළඹ ඇති හදිසි අවස්ථාව අවසන් වීමෙනි.
නැතහොත් මහ මැතිවරණය පවත්වා අවසන් වීමෙනි.

අද දවසේ ඇති සුවිශේෂී තත්වය අනුව එම අවස්ථාවන් දෙකම, එකක් වන අයුරු ඉතා පැහැදිලිව දැක්ක හැකිය. මන්ද යත් මැතිවරණය කල්දමා ඇත්තේ කොවිඩ් 19 ඇසුරෙන් මතුවූ “හදිසි තත්වය” මත වන හෙයින්, එම හදිසි තත්වය අවසන් වීමකින් තොරව මැතිවරණය පැවැත්වීමක් සිදුවිය නොහැකි බැවිනි. ඒ අනුව “හදිසි තත්වය” අවසන් වන කවදා හෝ දිනයක් එළඹෙනතුරු ඒ “හදිසි තත්ව පාර්ලිමේන්තුව” පවතිනු ඇත.

ඒ අනුව 70(7) උප වගන්තිය යටතේ කැඳවන ලද පාර්ලිමේන්තුවේ කාලය අවසන්වීමට හේතුවන- “හදිසි තත්වය අවසන් වීම” සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අදාල බළධාරියකු විසින් සිදුකළ පසු- “පාර්ලිමේන්තුව විසිරෙන්නේය” යන්න කතානායකවරයා විසින් හෝ මැතිවරණ කොමිසම විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ ප්‍රකාශයට පත්කරන තෙක් ඔබතුමන්ට සිදුවනුයේ ඒ “හදිසි තත්ව පාර්ලිමේන්තුව” සමගම කටයුතු කිරීමටය. මේ යළිකැඳවන “හදිසි තත්ව පාර්ලිමේන්තුවේ” ඇති සංයුතිය සහ කතානායකවරයා තවදුරටත් කරු ජයසූරියමය යන තත්වයන්ට අනුව යළි කැඳවීමෙන් පසු රැස්වන පාර්ලිමේන්තුව විසින් “එකී පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් තැනැත්තෙකු” නව අගමැතිවරයෙකු ලෙසත්, ඒ අනුව යමින් නව කැබිනට් මණ්ඩලයකුත් පත් නොකරනු ඇතැයි කිසිවෙකුට සහතික විය නොහැක.

ඒ අනුව යළි ජාතික ආණ්ඩුවක් හෝ වෙනත් යම් නමකින් හෝ ඇතිවියහැකි නව කැබිනට්ටුවක සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වරිය වියහැක්කේ තවදුරටත් ඔබතුමන්ට වගකියන හෝ සහයවන අයෙකු නොවන බව පැහැදිලිය. ඒ අතරතුර අදාල කදවුරම නියෝජනය කරන ආගම්වාදී/මූලධර්මවාදී දේශපාලකයින් විසින් තම තමන්ට ඇති “ජීව අවි යොදවා”, යම් ප්‍රාථමික මට්ටමකින් හෝ “කොවිඩ් 19 තැන තැන තවමත් ව්‍යාප්තවන තත්වයක්” රටපුරා පවත්වාගෙන යනු ඇත. ඒ මගින් “හදිසි තත්වය අවසන් නොවී පැවතීම” හෙවත්- ඉහත කී “හදිසි තත්ව පාර්ලිමේන්තුව” දිගටම පවත්වාගෙන යාමට අදාල පසුබිම නිර්මාණය කරනු ඇත.

අප එසේ බියවන්නේ ආසන්න අතීතයේ පවා අපට ඇති මතකයන් සුන්දර නොවන බැවිනි. මේ ඉන්නේ- කොටියා බිත්තිටයම හේත්තුවෙමින් සිටියදී, තම බල උවමනාව වෙනුවෙන් අයවැය පරදා කොටියා දිනවන්නට 2007දී සැදී පැහැදී සිටි කණ්ඩායම මය. මේ ඉන්නේ තමන්ටත් හුස්මගැනීමට හැකිවන පරිදි නිදහස් රටක් නිර්මාණය කළ “වරදට”, රණවිරුවන් දංගෙඩියට යොමුකරන්නට ජාතිකව හා ජාත්‍යන්තරව වෙහෙසුනු “රණවිරුගාය ඇලජික්” කණ්ඩායම මය. මේ ඉන්නේ අතිශය විකෘති සහගත සහ කිසිදා අවසන් නිළ ප්‍රතිඵලය ලබාදිය නොහැකි මැතිවරණයක් පවත්වා පැරදුනුවුන් දිනවූ කණ්ඩායම මය.

සතුරාගේ මාර්ග සිතියම එසේ වුවහොත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය යටතේ කැඳවනු ලබන “හදිසි අවස්ථා පාර්ලිමේන්තුව” අවසන් වනු ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයටද පසුව බව අවධාරණය කළ යුතුය. ඒ අතර මූල්‍ය පාලනයත්, රාජ්‍ය පාලනයත් තමන්ට පාලනය කළ නොහැකි තත්වයක් යටතේ වත්මන් ජනාධිපතිවරයා ලෙස ඔබතුමන් පත්වන අසීරු තත්වය මත, සිදුවිය නොහැක්කක් නොමැත. විශේෂයෙන් කොව්ඩ්19 පාලනය කිරීම සදහා ඔබතුමන් විසින් ගන්නා ලද පියවරයන්ට අදාල මූල්‍ය පාලනය ඉන්පසු එම පාර්ලිමේන්තුව විසින් මෙහෙයවන විට- කොවිඩ් පාලන යාන්ත්‍රණය ඔබතුමන් වෙතින් ගිලිහී යනු ඇති අතර එය රටක් ලෙසත් සමාජයක් ලෙසත් අප මුහුණදෙන අවාසනාවන්තම තත්වය බට පත්වනු ඇත. අවසානයේ හැටනවලක්ෂයේ ජනවරම හුදු ඉතිහාස කතාවක් පමණක් ම වී, තුන්බියෙන් පිරි රටක් පමණක් ඉතිරිවන තැනට පත්වීමට පවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය අනුව කටයුතු කිරීම මාරාන්තික වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි, අනතුර මෙය නම් කළයුත්තේ කුමක්ද?

කිසිම හේතුවක් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) උප වගන්තිය භාවිතා නොකිරීමට තීරණය කිරීම.
කොවිඩ් 19 හි තත්වය සළකා බලමින්(එහි අවසානය නොවේ), ක්‍රම ක්‍රමයෙන් පවතින සීමාවන් ලිහිල් කරමින් සමාජයීය කටයුතු සාමාන්‍ය තත්වයට පැමිණවියහැකි ආකාරය නිර්දේශ කරන සැළැස්ම, පිළිබඳ නිල නිවේදනය නිකුත් කරනු ලබනුයේ කවර බළධාරියාද යන්න සෞඛ්‍ය ඇමතිතුමිය විසින් අතීතයටද බලපාන ආකාරයෙන් නිලවශයෙන් නිවේදනය කිරීම. (මේ සඳහා නිරෝධායන පණතේ ප්‍රතිපාදන භාවිතා කළ හැක.)
මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණ පණතේ ප්‍රතිපාදනයන්ට එරෙහිව යමින් නිකුත් කර ඇති 2167/19 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නැවත කැදවීමටත්, ඉහත දක්වා ඇති “කොවිඩ්19හි තත්වය පිළිබඳ මතය ප්‍රකාශ කළ හැකි අධිකාරියේ” නිර්දේශය මත, නව දිනයක් සහිත නීත්‍යානුකූල ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටත් මැතිවරණ කොමිසමට උපදෙස් දීම නැතහොත් මැතිවරණ කොමිසම ලවා ඒ කාර්යය කරවාගැනීම. (මැතිවරණ කොමිසම විසින් නීතියට එරෙහිව යමින් ඇතිකරතිබෙන අර්බුදය විසඳාගැනීමට ඇති හොඳම මාර්ගය වන්නේද මෙම පියවරයි.)
කොවිඩ්19 මැඩලීම සදහා දැනට ලොව පිලිගෙන ඇති සාර්ථකම ක්‍රමය වන “හැකිතරම් පරීක්ෂණ පැවැත්වීම” යන්න අනුගමනය කරමින් සතියක් හෝ දෙකක් වන ප්‍රකාශිත කාලයක් ඇතුළත තුන්වන රවුම දක්වා වන පිරිසේ පරීක්ෂණ පවත්වා අවසන් කිරීම සහ ඒ ලැබෙන පරීක්ෂණ වාර්තා අනුව ඉහත සදහන් “කොවිඩ්19හි තත්වය පිළිබඳ මතය ප්‍රකාශ කළ හැකි අධිකාරියේ” විශ්වසනීයත්වය ස්ථාපිත කිරීම.
‍පාර්ලිමේන්තුව යළි කැඳවීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ නියම අරමුණ සහ ඒ මගින් ඇතිවන අනතුර සමාජය හමුවේ හෙළිදරව්කර, දැනටමත් ඔබතුමන් සමග සිටින හැටනම ලක්ෂයක් නොව සියක් ලක්ෂයකටත් අධික වන සාතිශය බහුතරය දැනුවත් කර ඔවුන්ගේ විශ්වාසය දිගටම ආරක්ෂා කරගැනීම වශයෙනි.
මේ වගට

නීතීඥ කපිල ගමගේ

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස