පළාත් සභා නීති 09ක් එක්ක රට තියා බස් කර්මාන්තයවත් දියුණු කරන්න බෑ! පළාත් සභා අහෝසි කරන්නැයි බස් ගැමුණුගෙන් ජනපතිට සංදේශයක්!

September 8, 2020 at 11:22 pm | by emanisa.lk

පළාත් සභා ක්‍රමය හේතුවෙන් බස් රථ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බැවින් පළාත් සභා අහෝසි කරන ලෙස ඉල්ලා බස් හිමියන්ගේ අත්සන් සහිත සංදේශයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට භාරදීමට සැලසුම් කර තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සමස්ත පෞද්ගලික බස් රථ විසිතුන්දහසකට ආසන්න ප්‍රමාණයෙන් බස් රථ දාහත්දහසකට අධික ප්‍රමාණයක් පළාත් සභා නවය මගින් පාලනය කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

පළාත් සභා 09 විසින් ක්‍රමවේද 09ක් යටතේ බස් රථ පාලනය කිරීමට යාම නිසා මගී ජනතාවට ගුණාත්මක බස් සේවාවක් ලබාදීමට නොහැකි වී තිබෙන බවත්, මීට අමතරව බස් රථ කර්මාන්තයේ කිසිඳු දියුණුවක් සිදු වී නොමැති බවත් ඔහු පවසා සිටියේය.

රටක් දියුණු වීමේදී පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත්ව පැවැතීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, මේ නිසා පළාත් සභා යටතේ පාලනය වන සියලු බස් රථ මධ්‍යම රජය යටතට පවරා ගෙන ජාතික ගමනාගමන කොමිසම යටත්තේ ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් පැවසූ ගැමුණු විජේරත්න, දැනට ජාතික ගමනාගමන කොමිසම බස් රථ පන්දහසකට ආසන්න ප්‍රමාණයක් පාලනය කරන බවද ප්‍රකාශ කළේය.

පළාත් සභා අහෝසි නොකර බස් රථවල පාලනය මධ්‍යම රජයට පවරාගත නොහැකි බවත්, මේ නිසා පළාත් සභා අහෝසි කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ අත්පත්‍රිකා බෙදාහරීමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්ද එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.

මීට සාපේක්‍ෂව පළාත් සභා අහෝසි කරන ලෙස ඉල්ලා බස් රථ හිමියන්ගේ අත්සන් සහිත සංදේශයක් ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්‍ෂටත් භාර දෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

රට දියුණු කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් කළද, පළාත් සභා ක්‍රමය තිබෙන තෙක් රට දියුණු කිරීමට ගැටලු ඇති වන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස