සමස්ත ආර්ථිකය හාන්සියි! රැකියා ලක්ෂ 4ක් අහිමියි! රටේ අපනයන ආදායම පහළ යයි! ආර්ථික වර්ධනය බඩගාද්දි ණය දෙගුණ වෙයි!- සිව් වසරක කෙරුවාව හිටපු මහ බැංකු අධිපති හෙළිකරයි… (video)

August 3, 2019 at 2:18 pm | by emanisa.lk

පසුගිය වසර හතර තුළ රටේ ආර්ථිකය සියලුම අංශවලින් බිඳ වැටී ඇතැයි ද එහි බලපෑම රටේ දුප්පත් පොහොසත් මධ්‍යම පාන්ති භේදයකින් තොරව සියලු දෙනා වෙත අහිතකර ලෙස බලපෑම් කරන බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

අපේ රට වර්තමානයේ මුහුණදෙමින් තිබෙන අර්බුදය මගහරවා ස්ථාවරත්වය හා විශ්වාසනීයත්වය යළි නගාසිටුවීම පිළිබඳව එළිය සංවිධානය ඊයේ (02) ඩුබායිහි රැඩ්සන් බ්ලු හෝටලයේදී පැවත් වූ සම්මන්ත්‍රණයේදී හිටපු මහබැංකු අධිපතිවරයා මෙම අදහස් දැක්වීය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රටට විදෙස් ආයෝජන ගලා ඒම නතර වී ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම අඩාල වී මූර්ත ආර්ථිකය බිඳ වැටුණු බව හෙතෙම පෙන්වා දෙයි.

පෙර පැවති ආණ්ඩුව යටතේ ආරම්භ කළ ව්‍යාපෘති නතර කිරීම, මහ බැංකු වංචාව ආදී කටයුතු නිසා ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුණු බවත් එහෙයින් ආයෝජකයන් පැමිණීමට බිය වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

වසරකට තරුණ තරුණියන් ලක්ෂ 4ක් රැකියා වෙළෙඳපොළට පිවිසෙන බවත් ආයෝජන නොමැති වුවහොත් ඔවුන්ට රැකියා අවස්ථාවක් ලබා දීම ගැටලුවක් බවත් 2014 අසූ හතර ලක්ෂයක් වූ රැකියාලාභීන් ප්‍රමාණය වසර 4කට පසු අසූ ලක්ෂය දක්වා අඩු වී විරැකියාව ඉහළ ගොස් ඇති බවත් හෙතෙම හෙළි කළේය.

මෙම වරස 4ක කාලය තුළ ජනතාවගෙන් අය කරන බදු ප්‍රමාණය බිලියන දාහේ සිට දෙදහස දක්වා ඉහළ නංවා ඇති බව ද එම මුදලින් අලුතින් විදුලි බලාගාරයක්, වරායක්, ගුවන්තොටුපළක් හෝ කිසිදු ආයෝජනයක් සිදු වී නොමැති බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂ රට භාරගන්නා විට රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන දෙකක් බවත් එය ට්‍රිලියන 7 දක්වා රාජපක්ෂ පාලන කාලය තුළ වැඩි වූ බවත් එම කාලය තුළ රටේ ආදායම බිලියන 24 සිට 80 දක්වා වැඩි වූ බවත් හෙතෙම හෙළි කළේය.

එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ වසර 04ක් තිස්සේ රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 7 සිට 13 දක්වා ඉහළ ගිය ද රටේ ආදායම වැඩි වී ඇත්තේ බිලියන 80 සිට 82 දක්වා බවත් ඔහු අනාවරණය කළේය.

2014 වන විට රටේ අපනයන ආදායම බිලියන 11.01ක් බවත් පසුගිය වසරේ 4 තුළ සාමාන්‍ය අපනයන ආදායම 10.09ට අඩු වී ඇති බව ද හෙතෙම පවසයි. අපනයන ආදායම් වැඩි වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ රටට බොරු කියන බව ද ඔහු පැවසුවේය.

සම්පූර්ණ කතාව සඳහා වීඩියෝව බලන්න….

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස