පවුල් කඩන ඉන්දියානු අ‍‍ඬෝවැඩියා ටෙලිවලට තිත! ජනපති තීන්දුවක් ගන්න සූදානම්!

June 27, 2020 at 11:31 am | by emanisa.lk

දේශීයත්වය සහ සංස්කෘතික හර පද්ධතිය සුරකින හරවත් මාධ්‍ය භාවිතයක අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති කාර්යාලයේ පැවති ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

නවීන තාක්ෂණය පදනම් කොටගත් රූපවාහිනී කලාවක් වෙනුවෙන් කළ යුතු වෙනස්කම් සහ දැනුම ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් සම්පාදනයේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. මැතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කළ “සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාවගෙන් අතිමහත් බහුතරය පිළිගත්හ. එබැවින් තම ප්‍රතිපත්තිය හුවා දැක්වීම නොව තම රජය ඉටු කරමින් සිටින ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දර්ශනය ජනතාව වෙත රැගෙන යාමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

විදේශීය වැඩසටහන් විකාශය සඳහා තෝරා ගැනීමේ දී අනුගමනය කළයුතු විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වත්මන් තත්වය, ඉදිරි ක්‍රියාකාරිත්වය සහ සැලසුම් පිළිබඳව ද සමාලෝචනය කෙරිණි.

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ හසන්ත හෙට්ටිආරච්චි, ප්‍රධාන විධායක නලින් කුමාර නිශ්ශංක යන මහත්වරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස