පල්ලියේ පදනම් විරහිත ප්‍රකාශ බුද්ධි අංශ නිලධාරින්ට විශාල හානියක්…! බුද්ධි අංශ ප්‍රධානී සිරිල් ගාමිණී පියනමට එරෙහිව CIDයට පැමිණිලි කරයි….!

October 25, 2021 at 6:06 pm | by emanisa.lk

2019 වසරේ සිදුවු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

එම ප්‍රහාරයට නායකත්ව ලබාදුන් ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මුල්‍යමය හා වෙනත් අත්‍යාවශ්‍ය සහය ලබාදුන් බව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom තාක්ෂණය ඔස්සේ 2021.10.23 පැවති සංවාද මණ්ඩපයකට සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණි පියතුමන් එම ප්‍රකාශය කර තිබුණි.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහි ලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා, ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකරන ලද බවය. සිරිල් ගාමිණී පියතුමා හා වෙනත් අය විසින් සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් සුරේෂ් සලේගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ,තමා අපකීර්තියට පත්කිරීමේ අරමුණින් නඟා ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවය.

තව දුරටත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, එම චෝදනාවල අරමුණ වන්නේ, පොදු ජනතාව නොමඟ යැවීම පමණක්ම නොව හිතාමතාම ඔහුගේ කීර්ති නාමයට හානි සිදුකිරීමටත් ඔහුගේ ජීවිතය මෙන්ම පවුලේ අයගේ ජීවිතය ද අනතුරේ හෙළීමක් බවය.

තවද එබදු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන් මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරන බුද්ධි නිලධාරින් හට ද නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදුකරන බව ද සලේ කළ පැමිණිල්ලේ සඳහන් වේ. ඔහුගේ පැමිණිල්ලෙන් වැඩි දුරටත් අවධාරණය කළේ, කිසිදු තත්ත්වයක් යටතේ ඔහු කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමඟ කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බවය.

එබැවින් සිය පැමිණිල්ලෙන් සලේ මහතා සිරිල් ගාමිණි පියතුමා හා එම සංවාද මණ්ඩපයට සහභාගී වු අනෙක් අයට ද නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස