පන්සිල් අරනගෙන කරන සාමකාමී අරගල ලෝකේ නෑ..! ව්‍යවස්ථා නොතකා සටන් කළ යුතුයි..! අරගලයට ජීවිත පූජා කළොත් වීරයින් වෙනවා…! -ෆීල්ඩ් මාර්ෂල්….

August 5, 2022 at 4:17 pm | by emanisa.lk

ලෝකයේ අරගල සාමකාමී නැති බවත් රටක හොර තක්කඩි එලවීම භාවනා කර පන්සිල් අරගෙන කළ නොහැකි බවත් සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ව්‍යවස්ථාවට අනුව අරගල කළ නොහැකි බව පැවසූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා, ඉන් පිට ගිහින් අරගල කර අරමුණු ජය ගත යුතු බවද සඳහන් කළේය.

අරගලයකදී ජීවිත පුජා කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද සූදානම් විය යුතු බවත් එවිට එම ජිවිත පුජා කළ අය ජනතාව වීරයන් සේ සමරනු ඇති බවත් ඔහු පැවසුවේය.

අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු කළහොත් 20ක් 25ක් මිය යා හැකි බව සඳහන් කළ ෆොන්සේකා, එවැනි ප්‍රහාරවලින් අරගලය නොනවතින බවද ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවලදී ජාත්‍යන්තරය මැදිහත්වී ගුවනින් ඇවිත් හමුදාවට පහරදී මුලස්ථාන පවා සුනු විසුනු කළ හැකි බවත් මැද පෙරදිග රටවල ඒ සඳහා උදාහරණ ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය. ජනතාවට පහර දුන්නොත් එවැනි දේවල් සිදුවන්නැයි තමා ප්‍රාර්ථනා කරන බව ද ඔහු සඳහන් කළේය.

අද රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වන බවත් සමහර දරුවන් හිරේ සිටින ආකාරය තවත් දරුවන් හැංගි සිටින බවත් සරත් ෆොන්සේකා පැවසීය.

ජනතාවට පහර දීම සම්බන්ධයෙන්වන අණ පිළිනොපදින්නැයි හමුදාවට නැවත වතාවක් අවධාරණය කර සිටින බව පැවසූ හෙතෙම හමුදාව ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතු බව ද කියා සිටියේය.

අරගලය ඇතුළත විවිධ කණ්ඩායම් සිටින බවත් මුදල් ලැබෙන කණ්ඩායම්ද සිටින බවත් ඔහු කීවේය. රාත්‍රියේ දේශපාලකයන් සමග කා බි උදේ අරගල භුමියේ සිටින කණ්ඩායම්ද සිටින බව ෆොන්සේකා සඳහන් කළේය.

අරගලය සන්නද්ධ අරගලයක් නොවුණහොත් හොඳ යැයිද හෙතෙම පැවසීය. පාලකයන් දූෂිත නම් ඔවුන් එළවා දැමිය යුතු බවත් අරගලය වෙනුවෙන් ඕනෑම අයකු සමඟ කතා කිරීමට තමා සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය.

අරගලය නිර් පාක්ෂික එකක් බව පැවසූ ෆොන්සේකා, දේශපාලන න්‍යාය පත්‍රයක් නොමැති ආරම්භවූ අරගලය හරහා නායකයන් ඉදිරියේදී බිහි වනු ඇති බව ද ප්‍රකාශ කළේය. අරගලය වෙනුවෙන් තමා නීතිඥවරුන් එක්දහස් පන්සියයක් එකතු කරගෙන යන බවත් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්ද සම්බන්ධ කර කරගැනීමට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසූවේය.

සරත් ෆොන්සේකා මෙසේ පැවසුවේ අන්තර්ජාල වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *