නීතිපති දෙපාර්තමේන්තුව තවුහිද් ජමාත් තහනම් කරන්න වසර එකහමාරක් කිසිවක් කරලා නෑ! පොලිස්පතිට ආරක්ෂක ලේකම්ට වගේ ඔවුන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න!- ජවිපෙ

August 1, 2019 at 10:33 am | by emanisa.lk

තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන්නැයි 2017 වසරේදී ත‍්‍රස්ත විමර්ශන අංශය නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතත්, ඊට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්වූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රී බිමල් රත්නායක ඊයේ (31) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

“ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවේදී හෙළිවුණුතොරතුරු ඉතා වැදගත්. තව්හිද් ජමාත් සංවිධානය තහනම් කරන ලෙස ඉල්ලා ත‍්‍රස්ත විමර්ශන අංශයේ ප‍්‍රධානියා 2017 දී නීතිපති දෙපාර්තමේන්තුවට ලිපියක් යවා තිබෙනවා. බෝම්බ ගහන්නේ 2019 අප්‍රේල් 21. මේ අය අවුරුදු එකහමාරක් තිස්සේ කිසිවක් කරලා නෑ.

එදා මේ සංවිධානය තහනම් කරලා සහරාන්ලා අත්අඩංගුවට ගත්තා නම් මේ ප‍්‍රහාරය වළක්වා ගන්න තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ මේ වගකීම් විරහිතභාවය ගැන කවුද ප‍්‍රශ්න කරන්නේ? 2017 දී ඉල්ලපු ඒ ඉල්ලීමට කිසිදු පැහැදිලි කිරීමක් ප‍්‍රතිචාරයක් දක්වා නෑ. 2018 ජුනි මාසයේදීත් නැවත සිහිකැඳවීමක් තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, ඒකටත් ප‍්‍රතිචාරයක් දක්වා නෑ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව හැමෝටම නඩු දානවා. දැන් නීතිපති දෙපාර්තමේන්තුවට කවුද නඩු දාන්නේ?”

සභානායක – මේක බරපතළ අතපසුවීමක්. මා එය පිළිගන්නව. මේ තේරීම් කාරක සභාව නිසා තමයි මේවා හෙළිදරව් වුණේ. ඔබතුමා කියන එක ඇත්ත. තේරීම් කාරක සභාව නිසා තමයි මේ තිරය පිටුපස සිද්ධීන් අනාවරණය වෙන්නේ.

බිමල් රත්නායක – දැන් මේ අතපසුකිරීමට ආණ්ඩුව ගන්නා නීතිමය ක‍්‍රියාමාර්ගය කුමක්ද?

සභානායක – මං මේක අගමැතිතුමාගේ අවධානයට යොමු කරවන්නම්. ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිසා තමයි තිරය පිටුපස ඇත්ත කතාව එළියට ආවේ. අනික් එක 2017 සහරාන්ට විරුද්ධව නඩු පවරලා තියෙනවා කාත්තන්කුඩි ප‍්‍රදේශයේ. ඇත්ත වශයෙන්ම සහරාන් පිටිපස්සේ බුද්ධි අංශ ප‍්‍රධානියා පන්නමින් සිටියේ. නමුත් අවාසනාවකට ඔහු ප‍්‍රභූවරයෙක් ඝාතනය කිරීමට යනවයි කියලා නඩුවකට පැටලිලා ඒ වැඩ කටයුත්ත අඩාල කරවූවා. ඒ ප‍්‍රශ්න නිසා මේ පරීක්‍ෂණ කටයුතු ඇනහිටියා. මේ ප‍්‍රශ්නය නිසා ඒ සෑම වැඩපිළිවෙළක්ම ඇන හිටියා.

බිමල් රත්නායක – 2017 දී මේක වෙලා තිබෙන්නේ. එතකොට නාලක සිල්වා හිටියානේ මේ ගැන නීතිමය පියවර ගන්න. අනික නාලක සිල්වා අත්අඩංගුවට ගත්ත කියලා ත්‍රස්ත විමර්ශන අංශය වැහුවාද? පොලිස්පති, ආරක්‍ෂක ලේකම් අත්අඩංගුවට ගත්තා වගේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ වගකිවයුතු අයට එරෙහිව ක්‍රියා කරන්න.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස