නිරෝධායන කණ්ඩායම් රට වනසන වැඩක! ඇඳිරි නීති විරාමයේ ජනතාව රැස්කන නගරවල සවාරි යයි! බැංකුවම විෂබීජහරණය කරන්න වෙයි!

March 30, 2020 at 6:04 pm | by emanisa.lk

විදේශ රටක සිට මෙරටට පැමිණි දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පද්ගලයෙකු නිවස තුළ නිරෝධායනය වෙමින් සිටියදී හොර රහසේ අද (30) ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයක සහ රජයේ බැංකු කාර්යාලයකට ගොස් ඇති බව අනාවරණය වීමත් සමඟ බැංකු කාර්යාලය විසබීජහරණයකට ලක් කිරීමට දඹුල්ල පොලිසිය සහ මහනගර සභාව කටයුතු කළේය.

විදේශීය රටක සිට මෙරටට මීට දින කිහිපයකට පෙර පැමිණ සිටි යුවළක් මෙයාකාරයෙන් දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ නිවස තුළම නිරෝධායනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියා කොට තිබිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිවසට ගොස් පරික්ෂා කිරීම ද සිදුකරන බව පොලිසිය පැවසීය.

දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් මෙම නිවසට ගොස් නිරෝධායන වෙමින් සිටි පුද්ගලයා පිළිබඳව සොයා බැලීමේදී ඔහු අද (30) දින  නිවසේ නොමැති බව දැනගෙන තිබේ.

පසුව සිදුකළ සොයාබැලීමකදී හෙළිවී ඇත්තේ ඔහු දඹුල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකට පැමිණ ඇති බවය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම අවස්ථාවේදීම දඹුල්ල පොලිසියට මේ බව දන්වා  පරික්ෂා කරන ලෙස දැනුම් දී තිබේ.

පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී මෙම පුද්ගලයා බැංකුව තුළ කළමනාකාර තුමියගේ කාමරය තුළට ගොස් ඇය සමඟ කතාබහක නිරතව පසුව මුදල් කවුන්ටරයේ නිලධාරියෙකු සමඟද සාකච්ඡා කර ඇති බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා පොලිසිය පැමිණීමත් සමඟ එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම පුද්ගලයා දඹුල්ල නගරයට ත්‍රී රෝද රථයකින්  පැමිණ ඇති බව තොරතුරු සොයා බැලීමේදී හෙළි වී ඇත.

තවත් ස්ථාන කිහිපයකට මෙම පුද්ගලයා ගමන් කර ඇත්දැයි සොයා පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.

එමෙන්ම මෙම පුද්ගලයාට විරුද්දව නිරෝධායන නීතිය යටතේ නීතිමය පියවර ගන්නා බව පොලීසිය පැවසීය.

කඩිනමින් රජයේ බැංකුව විෂබීජහරණයට ලක් කිරීම සිදුකරනු ලැබූ අතර ඉදිරියේදී බැංකුවේ නිලධාරීන් පිළිබඳවත් බැංකු ගොඩනැගිල්ල පිළිබඳවත්   අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස