නැව් ගින්නෙන් මහා පරිසර හානියක්…! කැස්බෑවන් 176ක්…ඩොල්ෆින් 20ක්… තල්මසුන් 4ක්…. මරුට…! වාරකන් නිසා මළැයි කීම විහිළුවක්….! – නීතිපති අධිකරණයට දන්වයි….

July 1, 2021 at 7:46 am | by emanisa.lk

කොළඹ වරායට නුදුරින් දේශීය මුහුදු සීමාවේදී එම්. වී. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ පාරිසරික හානිය නිසා කැස්බෑවන් 176 ක්, ඩොල්ෆින් මසුන් 20 ක් හා තල්මසුන් 4 ක් මේ දක්වා මියගොස් ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් ඊයේ (30 ) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම හමුවේ අනාවරණය කළේ ය.

එම සතුන් මියගොස් ඇත්තේ සමහර පිරිස් පවසන පරිදි මුහුදේ වාරකන් සමයේ සිදුවන ස්වභාවික හේතු නිසා නොව එකී ගින්නෙන් රසායනික ද්‍රව්‍ය මුහුදට එක්වී සිදුවූ පාරිසරික හානිය නිසා බව 39 දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මගින් තහවුරු කර ඇතැයි ද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පශු වෛද්‍යවරුන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුවත් ඒ බව සනාථ වී ඇතැයි ද අධිකරණයට කීවේය.

එකී නෞකාවේ හටගත් ගින්නේ සැබෑ තත්ත්වය හා දින වකවානු වසන් කිරීමට නැවේ කපිතාන්වරයා නැවේ යාන්ත්‍රික මෙහෙයවන්නා මෙන්ම දේශීය නියෝජිත ආයතනය ද දිගින් දිගටම උත්සාහ දරා ඇති බව මේ දක්වා සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ මාධව තෙන්නකෝන්, නැව් කපිතාන්වරයා ඇතුළු 25 දෙනකුුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය භාරයේ තිබූ ජංගම දුරකථන කැමරා ඇතුළු උපකරණවලින් ලබාගත් ඡායාරූප හා වෙනත් දත්ත ඔස්සේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව ද අධිකරණයට කීවේය.

එකී දත්ත වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එකී ගිනි ගැනීම සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමට යමකු උත්සාහ දරා ඇත්නම් ඔවුනට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බව ද එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුවන්ගේ නීතිඥවරුන් පැවසූ පරිදි නැව ගිනි ගැනීමට ඉඩහැර වන්දි ලබා ගැනීමේ අභිප‍්‍රායක් ශ්‍රී ලංකා රජයට නොතිබූ බව ද කීවේය.

ගින්න පිළිබඳ දැනගත් වහාම එය මැඬපැවැත්වීමට ගතහැකි සෑම පියවරක්ම ශී‍්‍ර ලංකා රජයේ වගකිවයුතු සෑම අංශයක්ම ගෙන ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සියලූ අනතුරුදායක ද්‍රව්‍ය නිසි පරිදි අසුරා ඇතැයි ද පසුගිය මැයි 19 දා පස්වරුවේ වරායට ඊමේල් පණිවිඩ ඒවා ඇතැයි ද සඳහන් කළේය. එලෙස ඊමේල් පණිවිඩ ඒවා වරාය තුළට ඇතුළුවීමට උත්සාහ දැරූ නැව් සමාගම මිස ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් එකී ගිනි ගැනීමට වගකිවයුතු නැතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.

පැමිණිල්ල මාධ්‍ය සංදර්ශන සිදු කරන බවට විත්තිය නඟන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් පැමිණිල්ල අධිකරණයට පවසනුයේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මිස අන් දෙයක් නොවන බවත් මාධව තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට කීවේය. හාබර් මාස්ටර් කාර්යාලයේ තිබෙන සන්නිවේදන අංශයේ පටිගත වී ඇති දත්ත පටිගත කිරීමේ යන්ත‍්‍රයෙන් පිටපත් ලබාගෙන ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරනා බව ද හෙතෙම වැඩිදුරටත් අධිකරණයට පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස