නැඟෙනහිර ජැටියට ඉන්දියාවේ සහාය ගැනීම වඩා සුදුසු විකල්පයයි…! – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

January 28, 2021 at 9:48 am | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර ජැටියෙන් වැඩි වශයෙන්ම අපේක්‍ෂා කරන්නේ ඉන්දියාවට භාණ්ඩ ප‍්‍රතිනැව්ගත කිරීම බැවින් ඊට ඉන්දියාවේ සහාය ගැනීම වඩාත්ම සුදුසු විකල්පය බව මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඊයේ (27දා) බත්තරමුල්ල වොටර්ස්එජ්හිදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

මෙම නැගෙනහිර ජැටියේ සේවය ලබා ගන්නා ලොකු ම ගැනුම්කරු වන්නේ ඉන්දියාව බවත් ඒ නිසා මෙහි වෙළෙඳාම වැඩි වශයෙන්ම යොමුවන්නේ ඉන්දියාව දෙසට බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

“මේ සම්බන්ධයෙන් අපේ රජයට ඉන්දියානු බලපෑමක් නැහැ. එහෙත් අපට ව්‍යාපාර කටයුතු බලෙන් කරන්න බැහැ. ඒ නිසා මේ ජැටියේ ප‍්‍රයෝජනය රටට ගත හැකි වනුයේ ඉන්දියාවත් සමඟ ඒ අයත් තෘප්තිමත් වන ලෙස කටයුතු කිරීමෙන්.

අපේ පක්ෂය තුළත් මේ ගැන කතිකාවක් තියෙනවා. අප හැමෝටම විවිධ මත තියෙන්න පුළුවන්. එහෙත් අප යම්කිසි ස්ථාවර තැනකට එන්න ඕනෑ. සෑම මතයක් අනුව ම කටයුතු කරන්න අපහසුයි. මෙය තවදුරටත් හොඳින් කරන්න පුළුවන් ක‍්‍රමවේද සහ යෝජනා තියෙනව නම් ඒ ගැන හොයල බලල කටයුතු කරන්නත් රජය සුදානම්.

යෝජිත ආයෝජන එකඟතාව හරහා ශ‍්‍රී ලංකාවට සියයට 51ක පාලන බලය හිමි වෙනවා. මෙය නැඟෙනහිර ජැටියේ කොටසක් විකිණීමක් හෝ බදු දීමක් නොව ආයෝජනයක්. අපට කාත් එක්ක ද ගනුදෙනු කරන්න සිදු වෙන්නේ යන යථාර්ථය අප තේරුම් ගත යුතුයි.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස