නායකයා අපට වැඩක් කරන්න දෙන්නේ නෑ…! වැවක් හදන්න ලක්ෂ 15ක් අල්ලස් ඉල්ලනවා…! මම තීන්දුවක් ගන්නවා…! – රාජ්‍ය ඇමැති……

November 23, 2021 at 8:11 am | by emanisa.lk

තමන්ට ඡන්දය දුන් ආසනයේ, දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීමට දිස්ත්‍රික්කයේ නායකයින් ඉඩ ලබා නොදෙන්නේ නම් සහ පක්ෂයේ නායකත්වය තමන් දෙවතාවක් කළ දැනුම්දීම් වලට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඕනෑම මොහොතක ඇමතිකම අතහැර දැමීමට තමන් සූදානමින් සිටින බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න පවසයි.

“මම කියන්න ඕනෙ තැන්වලට කියලා තියෙනවා, මම ඕනෙ වෙලාවක ලෑස්තියි, මගෙ ඇමති තනතුර අයින් කරගන්න. මට අයින් වුණා කියලා චෝදනා නෑ. මම කප්පම් අරන් නෑ. මම බලෙන් ඉඩම් අල්ලලා නෑ. මම බොරළු, මැටල් වලින් සල්ලි ගන්නෑ. මම රාජ්‍ය නිලධාරීන්ට ප්‍රශ්න දාන්නෑ. රාජ්‍ය නිලධාරීන් බය කරලා වැඩ කරන්නෑ. මම තවත් ඉවසන්නෙ අපිව මෙතෙන්ට ගෙනාපු ඔබ තමුන්නාන්සෙලාට යුතුකමක් තියෙනවා ඉෂ්ඨ කරන්න. හැබැයි ඒක කරන්නත් බැරි නම් ආණ්ඩුවක් තුළ මොකක්ද මගෙ ඇමතිකම ? මට තියෙන්නෙ විදේශ රැකියා අමාත්‍යාංශයේ රට අරින්න විතරද ?

ආසනයක් හැටියට, දිස්ත්‍රික්කයක් හැටියට අපට නිදහසේ අපේ පක්ෂය තුළ වැඩ කරන්න බැරි නම් මම හෙට වුණත් ලෑස්තියි, ඇමතිකම දාලා ඇවිත් ඔබලා ළඟ වැටෙන්න. මම වැටෙන්නෙ ඔබලා ළඟ මිසක් කුණු බක්කියට නෙවෙයි. රජයත් ඒක තේරුම් ගන්න ඕනෙ. අපෙ නායකයොත් ඒක තේරුම් ගන්න ඕනෙ. මම ලියුම් දෙකක් ලියලා තියෙනවා. ඒ දෙකටම තාම උත්තරයක් ලැබිලා නෑ. මං කිව්වා මට දෙන්නැත්නම් නෑ කියලා කියන්න. මම ලෑස්තියි ජනතාවගෙන් සමාව ගන්න මට මේක දෙන්නෑ කරන්න කියලා.

ජනතාව කලකිරිලා ඉන්නෙ, මම දන්නවා. අද මන්ත්‍රීලාට ගමට යන්න බැරි අවස්ථාවක්. ඒක අපි පිළිගන්න ඕනෙ. පොහොර ප්‍රශ්නෙ තියෙනවා. අපේ නෝනාත් මගෙන් අහනවා දැන් සැපද කියලා ගෑස් නෑ කියලා. මං කිව්වා සැපයි කියලා. මට ඇමතිවරයෙක් වෙලාත් ගෑස් ගන්න බැරි නම් ඔබ කොහොමද ගෑස් ගන්නෙ?

මට ගෙදර ගිහිල්ලා හොඳට නින්ද යනවා, ගෙදර ඉන්න පුළුවන්. මොකද මං හොරකම් කරලා නෑ. හොරුන්ට ඉන්න බෑ. හොරුන්ට මොකේ හරි රැඳෙන්න ඕනෙ. චමල් රාජපක්ෂ ඇමතිතුමාට මං කිව්වා ගිහිල්ලා. වැවක් ඕනෙ නම් ලක්ෂ 15ක් දෙන්න ඕනෙ නායකයාට. මොකක්ද මේ ?

අද දයාශ්‍රිත තිසේරා අපිත් එක්ක නෑ. අද නියෝමාල් පෙරේරා අපිත් එක්ක නෑ. නිවැරදි නායකත්වයක් තුළ කටයුතු නොකරපු නිසා ඒ අය අපෙන් ගිළිහිලා තියෙනවා. ඒ අය සම්පත් අපට. සමහරු හිතනවා තමන් තමා ඔක්කොම කරන්න ඕනෙ කියලා. එනිසා මේකට තීන්දුවක් දුන්නෙ නැත්නම් පැහැදිලිවම මම තීන්දුවක් ගන්නවා. තමුන්නාන්සෙලා සමාවෙන්න එහෙම වුණොත් එහෙම”

රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මේ බව පැවසුවේ ඊයේ (22) ආණමඩුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *