දේශීය ශීතකරණ හා වායුසමීකරණ නිෂ්පාදනයට විමල්ගේ අතහිත…!

October 22, 2021 at 7:46 am | by emanisa.lk

දේශීය වශයෙන් අපට වුවමනා දේ නිපදවා ගැනීමේ සංස්කෘතිය ඉදිරියට ගෙන යමින් ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර දේශීයව නිපදවීමේ අබාන්ස් ආයතනයේ ව්‍යාපෘතිය උපායමාර්ගික ආයෝජනයක් ලෙස සලකා ඊට අදාළ පහසුකම් සැපයීමට කැබිනට් පත්‍රිකාවක් මගින් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරමින් මෙම ප්‍රවණතාව තව දුරටත් බලගැන්වීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

කළුතර මිල්ලනිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින අබාන්ස් ආයතනයේ ශීතකරණ සහ වායුසමීකරණ යන්ත්‍ර නිපදවීමේ නව කර්මාන්ත ශාලා පරිශ්‍රය අද (21) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා මෙසේ පැවසීය.

“අපි අද නිරීක්ෂණයට පැමිණියේ අබාන්ස් ආයතනය ඉතා වැදගත් කර්මාන්ත කිහිපයකට පණදීමට ආරම්භක පියවර තබා ඇති අයුරු දැක ගැනීමටයි. අක්කර පහක මෙම භූමිය තුළ වර්ග අඩි ලක්ෂයක විශාල කර්මාන්ත ශාලාවක් ඉදි කෙරෙමින් තිබෙනවා.

මෙම ආයතනය බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ මුල් කාර්තුව ඇතුළත, එනම් අප්‍රේල් අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ශීතකරණයක් අපේ වෙළෙඳපොළට හඳුන්වා දීමට.

ඉන්පසුව දෙවන අදියර ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වායුසමීකරණ යන්ත්‍ර දේශීයව නිපදවීම සඳහා කටයුතු කිරීමටත් ඔවුන් සූදානම් වෙනවා. මේක මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉතා වැදගත් පියවරක්. දේශීය වශයෙන් අපට උවමනා දේ නිපදවා ගැනීමේ සංස්කෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමක්. එම ප්‍රවණතාව තව බලගැන්වීමක්.

අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරලා, උපායමාර්ගික ආයෝජනයක් ලෙස මෙම ව්‍යාපෘතිය ප්‍රතිපත්තිමය වශයෙන් පිළි අරගෙන එයට උපායමාර්ගික ආයෝජනවලට ලැබෙන බදු සහන සහ අනෙකුත් වරප්‍රසාද ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කිරීමට කර්මාන්ත අමාත්‍යවරයා හැටියට අපි බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස