පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ, විශේෂඥ වෛද්‍ය චමින්ද හේරත් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් නිර්මාණය කළ නැනො තාක්ෂණික වෛරස් නාශක මුව ආවරණය එළිදැක්වීම අද (25) පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක එකෙහි(01) දී පැවැත්විණි.
මේ අවස්ථාව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයා ලෙස එකතු විය.
මෙම නැනො තාක්ෂණික වෛරස් නාශක මුව ආවරණය ඒ මත වැටෙන ඕනෑ ම විෂ බීජයක් විනාශ වන ආකාරයට නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ලොව ප්‍රථම වෛරස් නාශක සහ නැනො අංශු පෙරණ මුව ආවරණය මෙය වේ.
නොබෝ දිනකින් මෙම විශේෂිත මුව ආවරණය දේශීය හා විදේශීය වෙළඳපොළට නිකුත් කිරීමට පර්යේෂක කණ්ඩායම සැලසුම් කර තිබේ.
ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමියට දැනුම් දෙන බව අගමැතිවරයා මෙහි දී සඳහන් කළේය.
මෙම නව නිපැයුම සඳහා රාජ්‍ය ඇමතිනි සීතා අරඹේපොළ මහත්මියගේ සහය ද ලැබී තිබේ.
අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, ඩී.වී. චානක මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු මහජන නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.