දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තය විනාශයි… විසි දාහක් මහ පාරට…!

February 6, 2025 at 2:31 pm | by emanisa.lk

නැවත වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී ආණ්ඩුව ගත් අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තය විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

“2021 මම කර්මාන්ත ඇමති විදිහට සම්මත මෙහෙයුම් පටිපාටිය කියලා ප්‍රතිපත්තියක් මේ රටේ වාහන එකලස්කිරීමේ කර්මාන්තයේ යෙදෙන අයගේ හිතසුව පිණිස බලාත්මක කළා. එමගින් කළේ මෝටර් සයිකල් ඇතුළු විදෙස් සන්නාම සහිත වාහන මේ රටේ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වන්න 25%කට වඩා දේශීය අගය එකතු කිරීමක් ඇත්නම් ඊට සාපේක්ෂව බදු ප්‍රමාණය අඩු කළා.

එම ප්‍රතිපත්තිය හඳුන්වන දෙන අවස්ථාවේ මේ රටේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ හිටියේ ආයතන තුනයි. අද වන විට මෝටර් සයිකල් එකලස් කිරීමේ ආයතන පමණක් 17ක් ලංකාවේ ක්‍රියාත්මකයි. එහි දී වාහනයේ ටයරය, සීට් එක, සයිලන්සරය දේශීය වශයෙන් නිපදවා වාහනයට එකතු කරනවා. මේ කර්මාන්තය ආශ්‍රිතව ඍජු සහ වක්‍ර රැකියා 20 000කට වඩා බිහි වුණා. තවත් සමාගම් 17ක් මේ රටේ වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එකතු වෙන්න සූදානම් වුණා. මේ අනුව පේනවා අපි හඳුන්වා දුන් ප්‍රතිපත්තිය එක්ක මේ රටේ දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ පිබිදීමක් ඇති වූ බව.

වාහන ආනයනය සඳහා අවසර දීමේ දී මුදල් අමාත්‍යංශ ලේකම්වරයාත් මෝටර් සයිකල් ආනයනයට අවසර ලබා නොදෙන්න මුලින් එකඟ වෙලා. දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තකරුවන් ඉල්ලා ඇත්තේ මෝටර් සයිකල් ආනයනය නිදහස් නොකිරීම හෝ කරන්නේ නම් අධික බදු පැනවීමක්. නමුත් ඉන්දියානු මෝටර් සයිකල් සමාගම අධ්‍යක්ෂ කෙනෙක් වන ආණ්ඩුවේ ඉන්න හුළං උපදේශකයෙක් බලපෑම් කරලා මෝටර් සයිකලයත් මේ ලැයිස්තුවට එකතු කළා.

මේ අනුව ආනයනිත මෝටර් සයිකලයක් සහ දේශීය වශයෙන් එකලස් කළ මෝටර් සයිකලයක් අතර මිල වෙනස රු. 10 000ක් පමණ නිසා ආනයනික මෝටර් සයිකලය මිල දී ගැනීමෙන් දේශීය වාහන එකලස් කිරීමේ කර්මාන්තය බිඳ වැටිලා එහි රැකියා කළ විසි දහසකට අධික පිරිස මහ පාරට වැටෙනවා. රටට එන්න බලාගෙන හිටි ඉතිරි ආයෝජකයන් 17 දෙනාත් ආපහු හැරිලා යනවා. මේ රටේ ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුවක් පත්කරගන්න පෝලිමේ ගිහින් ඡන්දේ දුන්නේ ඒකටද? ඔවුන් බලයට ආවේ දේශීය කර්මාන්ත නගා සිටුවනවා කියලා. අන්තිමට ආණ්ඩුවේ තීන්දු ගන්නේ ජනාධිපති නෙමෙයි, හුළං උපදේශකලා.”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස