දේශපාලන පිළිගැනීම් කොමිසම මා චූදිතයෙකු කිරීම වැරදියි…! වහාම මා පිළිබඳ නිර්දේශ අත්හිටුවන්න….! – රනිල්ගෙන් රීට් පෙත්සමක්…

August 2, 2021 at 5:26 pm | by emanisa.lk

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද (02) ගොනු කළේය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයින් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් හා ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.

එම කොමිසමේ වාර්තාවෙහි 17-21 පිටුවල තමා සම්බන්ධයෙන් ඇති නිර්දේශ සහ සොයා ගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායකවරයා සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.

විදානපතිරණ නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ එම කොමිසම විසින් විමර්ශන කටයුතු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවය.

පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ මෙම කොමිසම විසින් සාක්ෂි දීම සඳහා තමන් ට කැඳවීම් කළ අතර ඒ අනුව 2020 වසරේ සැප්තැම්බර් 04 දින එහි පෙනී සිටි බවත්, විත්තිකරු වකු ලෙස නොව සාක්ෂිකරුවකු ලෙස තමන්ට සලකන බව එම කොමිසම දැනුම් දීම නිසා තමන්ට එරෙහිව සොයාගැනීම් සහ නිර්දේශ එම කොමිසමෙහි වාර්තාවට ඇතුළත් නොවනු ඇති බවට සාධාරණ අපේක්ෂාවක් තිබුණු බව පෙත්සමෙහි සඳහන් වේ.

එම කොමිසමට කැදවූ අවස්ථාවේ දී තමන්ට චෝදනා පත්‍රයක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් නොවූ බව පෙත්සම්කරු කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස