දේශපාලන පළිගැනීම් පිළිබඳ පැමිණිලි කළ හැක්කේ රජයේ නිලධාරීන්ට විතරයි! දේශපාලන පළිගැනීම්වලට ලක්වුණත් සේනාධිපතිට කොමිසමට යන්න බෑ! – නීතිපති

June 23, 2020 at 10:10 am | by emanisa.lk

ඇවන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට නිශ්ශංක සේනාධිපතිට හැකියාවක් නොමැති බව නීතිපතිවරයා අදාළ කොමිසමට දැනුම් දී ඇත.

මේ පිළිබඳ අදහස් පළකළ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවල සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට පමණක් බවත්, නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන බැවින් ඔහුට නීත්‍යනුකූලව කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ කොහැකි බවත් සඳහන් කළාය.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (සී) සහ 105 ව්‍යවස්ථාවන්ට අනුව කොමිෂන් සභාව නීතිපතිවරයාගේ තීරණ නෛතිකව සමාලෝචනය කිරීමට බලතල ඇති නෛතික අධිකරණයක් නොවන බවද නීතිපතිවරයා විසින් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත වැඩිදුරටත් ලිඛිතව දන්වා ඇතැයි රජයේ අධිනීතිඥවරිය පවසයි.

එසේම දැනට පවතින අපරාධ නඩු මෙහෙයවන නීතිපතිවරයාගේ නියෝජිතයන් කොමිෂන් සභා පනතේ 16 වැනි වගන්තියට අනුව කොමිසම ඉදිරියට කැඳවීම මගින් නීතිපතිවරයාගේ ව්‍යවස්ථාපිත රාජකාරීන්වලට අගතිදායක ලෙස බලපාන බවද නීතිපතිවරයා විසින් දන්වා ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර කැඳවීමට කොමිසම කරන ලද නියෝගයට ප්‍රතිචාර දක්වමින් නීතිපති දප්පුල ද ලිවේරා මෙලෙස කොමිසමේ සභාපතිවරයා දැනුවත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස