දේශපාලනය කියන්නේ නිවන් දකින මහා පින්කමක්…! – මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි…

November 19, 2021 at 10:00 am | by emanisa.lk

බහුශ්‍රැතභාවය යනු සියල්ල දැන ගැනීම නොව තමන්ට අදාළ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ප්‍රවීණත්වය ලබා ගැනීම බව වාද්දූව තල්පිටිය බෝධිරාජ මහා විහාරාධිපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසති.

ඉල් පුන් පොහොය යෙදුණු ඊයේ(18) පෙරවරුවේ අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 216 වැන්න අරලියගහ මන්දිරයේ දී දේශනා කරමින් එහිමියෝ මේ බව දේශනා කළහ.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ දුතීය සත්පුරුෂ සූත්‍රය මාතෘකා පාඨය කර ගනිමින් දේශකයාණන් වහන්සේ තව දුරටත් මෙසේ ද පැවසූහ.

“සමහරු හිතනවා මේ ලෝකේ තියෙන සියලු ම දේවල් ඉගෙන ගත්තමයි බහුශ්‍රැත කියල. එහෙම වෙන්නේ නැහැ. බහුශ්‍රැත කියන්නේ තමන්ට අදාල, තමන් ගතකරන ජීවිතයට අදාළ, තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳ දැන කියාගත්කම තමයි බහුශ්‍රැතකම කියන්නේ.

භික්ෂූන් වහන්සේ නමකගේ බහුශ්‍රැත භාවය තමයි ත්‍රිපිටකය පිළිබඳව, ධර්ම විනය පිළිබඳව තමන් තුළ පැවතිය යුතු දැනුම. එතකොටයි, ඒ භික්ෂුව බහුශ්‍රැත භික්ෂුවක් කියල කියන්නේ. දේශපාලනයේත් දේශපාලනය කරන අය හොඳ බහුශ්‍රැතභාවයක් ඇති කරගන්න ඕනේ. මේ බහුශ්‍රැතභාවය එකවර ඇතිවෙන්නේ නැහැ. බහුශ්‍රැතභාවය ඇති වෙන්නේ ක්‍රමයෙන්.

දේශපාලනඥයෝ සමීපයේ ඉඳල, මේ දේශපාලන ලෝකයට අවතීර්ණවෙලා, දේශපාලනයට අදාළ පොතපත කියවල, දේශපාලනඥයන්ගේ හැසිරීම් රටාව කියවල, ඒ අය ගැන අවබෝධ කරගෙන, තමා ඉදිරිපත්වෙලා දේශපාලනය කරලා, පියවරෙන් පියවර ඉදිරියට ගිහිල්ල, දේශපාලනය කරන්නේ මෙහෙමයි කියල බය නැතිව ඔලුවෙ තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒක තමයි, දේශපාලන බහුශ්‍රැතභාවය කියල කියන්නේ.

අගමැතිතුමනි, මේ ඔබතුමාට ලකුණු දාන්න කියනව නෙමෙයි. මා විශ්වාස කරනවා දැන් ඔබතුමා දේශපාලනයේ පරිනත බවක් බහුශ්‍රැත බවක් ලබාගෙන ඇති කියල. ඔබතුමාට තේරෙනව ඇති දේශපාලනඥයෝ හැරෙන කොට, එක වචනයක් හරි කවුරුහරි දේශපාලනඥයෙක් කතාකරන කොට, මෙයා එන්නේ මේකටයි කියල. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒක ලැබෙන්නේ දේශපාලනයෙන් දිගුකලක් ගිහිල්ල දේශපාලනය කියන පාඩම හොදට ඉගෙන ගත්තොත් තමයි.

මේ පාලනය කියන එක නිවන් දකින වැඩක් මහා පින්කමක්. ශ්‍රීමත් අගමැතිතුමනි, අද ඔබතුමාගේ ජන්ම දිනය. මම හිතනවා ඔබතුමන්ගේ ජන්ම දිනය ඔබතුමන්ටත්, ඔබතුමන් මෙලොවට බිහිකළ දෙමාපියන්ටත්, ඔබතුමන්ට ශිල්ප ශාස්ත්‍ර කියල දීපු ගුරුවරුන්ටත්, ඥාතින්ටත්, හිතවතුන්ට, මේ රටේ වැසියන්ටත්, යහපත පිණිසම හේතු වෙනවා කියල. එහෙම හේතු වුණා කියලා අපි විශ්වාස කරනවා.

ඔබතුමා මේ රටේ හිටපු නායකයන් අතර ශ්‍රේෂ්ඨ නායකයෙක්. එක මම කියන්නේ මේ දේශපාලනයේ ඔබතුමන්ගේ රාමුවට ඇවිල්ල නෙමෙයි. ඔබතුමා වාසනාවන්තයි කියන එ්ක කවුරුත් දන්නා, කවුරුත් පිළිගන්න කාරණාවක්. දේශපාලනයේදී විවිධ විධියට ඒක අර්ථකථනය කළාට කමක් නෑ. භික්ෂුන්වහන්සේලා හැටියට එක අපිට අවංකව කියන්න සිද්ධ වෙනවා.

ඒ නිසා ඔබතුමන්ගේ වටිනා ජන්ම දිනය ඔබතුමන්ටත් රටටත් ‌ලෝකයටත් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා ඒ ජන්මය, වටිනා ජන්මයක්. ඉදිරියටත් එය බොහෝ කල් තව තවත් මේ රටට සමාජයට සේවය කරන්න ලෝකයට සේවය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබතුමන්ට වාසනාවන්ත සුබ අනාගත කාල පරිච්ඡේදයක් උදා වේවා!”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස