දේශප්‍රේමී ව්‍යවස්ථාවක් නිර්මාණය කර නොගෙන අනාගතයේ මේ රට රැකගන්න බෑ! – ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා

July 26, 2020 at 11:46 pm | by emanisa.lk

අද දකුණේ ඇතැම් පක්ෂ කිසිම ලැජ්ජාවක් නැතිව ඉන්දියාව බලහත්කාරයෙන් රට පළාත් 9කට බෙදා කැබිනට් මණ්ඩල 10ක් හඳුන්වා දුන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ප්‍රකාශ කරන්නේ යැයි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යුතුකම ජාතික සංවිධානය ඊයේ (25) පානදුරේ සංවිධානය කළ “ශක්තිසම්පන්න රාජ්‍යයක්-අපේ ම ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

“78 ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ටිකින් ටික සම්පූර්ණයෙන් අහිමි කළා. එතෙක් සිය කොට්ඨාශය නියෝජනය කළ මන්ත්‍රීවරයා ජනතාවට අහිමි කළා. ඒ වෙනුවට හඳුන්වා දුන් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ නිසා ආණ්ඩු පිහිටුවීමේ බලය සුළුතර අන්තවාදීන් අතට ගියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා උවමනා ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා අඩු කරන්න 15 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කටයුතු කළා. එය තත්ත්වය තවත් බරපතළ කළා. මේ නිසා 2009 යුද ජයග්‍රහණය අවස්ථාව හැරුණු විට අපට කිසිම අවස්ථාවක ශක්තිමත් පාර්ලිමේන්තුවක් පිහිටුවා ගන්න බැරි වුණා. ඒ වැරදි නිවැරදි කරගන්න අපේ ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න බැරි තත්ත්වයට අද අපි පත්වෙලා.

එදා 1987 ඉන්දියානු බලපෑම් මත ඉන්දු-ලංකා ගිවිසුම අනුව ජේ.ආර්. ජයවර්ධන භයානක 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. එදා ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන සාක්කුවේ දාගෙන ඔවුන් බස්වල පටවලා කොළඹ හොටෙල්වලට අරගෙන ඇවිත් බලහත්කාරයෙන් භයානක 13 වෙනි සංශෝධනය සම්මත කළා. අද දකුණේ ඇතැම් දේශපාලන පක්ෂ ලැජ්ජාවක් නැතිව තමන්ට බලය ලැබුණොත් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව කියනවා. ඒ වේදිකාවේ තමයි අද සියලු අන්තවාදී කොටස් ඉන්නේ.

මේ රට පළාත් නවයකට බෙදලා ඒ හැම පළාතකට කැබිනට් මණ්ඩලය බැගින් පත්කරලා රටට කැබිනට් මණ්ඩල 10ක් අඳුන්නලා දුන්නේ මේ 13 වෙනි සංශෝධනයෙන් තමයි. ඒ මධ්‍යම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සහ පළාත් සභාවල ඇමති මණ්ඩල 9. මේ පළාත් සභා ඇමති මණ්ඩලයක ඇමතිවරු අවම වශයෙන් 05ක් ඉන්නවා.

රාජ්‍ය සේවයට බඳවා ගන්න පැවති එක රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවට කොමිෂන් සභා 10ක් හැදුවා.
දැන් 19 වෙනි සංශෝධනය මගින් ස්වාධීන පොලිස් කොමිසකුත් හැදුවා. 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කළොත් රටට ස්වාධීන පොලිස් කොමිසම් 10ක් ලැබෙනවා. මේ අනුව ලංකාවේ රාජ්‍ය සේවකයන් පිළිබඳ තීන්දු තීරණ ගන්න විතරක් ලංකාවේ කොමිෂන් සභා 20ක් තියෙනවා.

මේ වැඩේට අපි වගේ කොමිසන් සභා 20ක් ඕන නම් අපේ රටේ ව්‍යවස්ථා සම්පාදනයට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බුද්ධිය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ කොමිෂන් සභා මගින් ඇත්තටම කළේ රාජ්‍ය සේවයේ තීන්දු තීරණ ගන්නා බලය රාජ්‍ය සේවයෙන් උදුරගෙන NGOකාරයෝ අතට පත්කිරීමයි. මේ කොමිෂන් සභා ස්වාධීනයි කියන කතාව විශාල බොරුවක්.

මේ කොමිෂන් සභා පත්කරන්නේ කතානායක ඇතුළු සාමාජිකයෝ 9 දෙනෙක් ඉන්න ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් 05ක් පත්කරන්නේ අගමැතියි විපක්ෂ නායකයි. මේ රටේ 50%කට වඩා ඡන්ද ලබාගෙන බලයට පත්වන ජනාධිපතිවරයෙකුට වඩා ආසනයක් දිස්ත්‍රික්කයක් දිනන අගමැතිට විපක්ෂ නායකට මේ සඳහා ස්වාධීන පුද්ගලයක් පත්කිරීම් කළ හැකියි කියල හිතන එකේ පදනම ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා.

මේ සංශෝධන නිසා අද ජනපති අගමැති කියලා ආණ්ඩුව තුළ බල කේන්ද්‍ර දෙකක් හදලා. අද සහෝදරයෝ දෙන්නෙක් මේ තනතුරු දරන නිසා ප්‍රශ්නයක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් පහුගිය ආණ්ඩුවේ මේ විරසකය නිමා වුණේ අහිංසක මිනිස්සු 300කට ජීවිත අහිමි කරලා. ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන ස්ථාන දිනය වේලාව ත්‍රස්තවාදීන්ගේ නම් ගම් හැඳුනුම්පත් අංක ලැබිලත් ඒ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණේ මේ ගැටුම නිසයි.

රටේ මොන ප්‍රශ්න ඇති වුණත් ආණ්ඩුව මොන වරද කළත් පාර්ලිමේන්තුව අවුරුදු හතරහමාරක් යන තුරු විසිරුවන්න බැරි තැනට 19 වෙනි සංශෝධනයෙන් නීති සම්මත කළා. මේ නිසා මුළු රටම අස්ථාවර වුණා. අපට පුරවැසියගේ ජීවිත ආරක්ෂා කරගන්න බැරි වුණා.

එහෙම අවස්ථාවක පවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට මැදිහත් වෙන්න බැරි නම් බිලියන ගාණක් වියදම් කරලා ජනාධිපතිවරණයක් පවත්වන්නේ ඇයි කියන එකත් විශාල ප්‍රශ්නයක්. ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න නම් ඇයි රටේම ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් පත්කරගන්නේ? රට පාලනය කරන්න, රට රැකගන්න, ආණ්ඩුවේ ඇමතිවරයෙක් දූෂිත නම් ඔහු ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලය තිබිය යුතුයි. නමුත් අද ජනාධිපතිවරයාට පොලිස්පතිවරයාවත් ඉවත්කරගන්න බෑ.

නමුත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පොලිසිය තිබිය යුත්තේ පළාත් මහ ඇමතිවරයා යටතේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතී කිසිවෙක් කිසිම අවස්ථාවක පළාත් පොලිසිය මහ ඇමතිවරයා යටතේ තිබීමට එරෙහිව කතා කරන්නේ නෑ. ඔවුන්ගේ අරමුණ අන්තවාදීන් බලවත් කිරීම පමණයි. විදේශ බලපෑම්වලට මේ රට යටත් කරගන්න පුළුවන් මධ්‍යම ආණ්ඩුව දුර්වල කරලා කියලා මේ අය දන්නවා.

ඒ නිසා මේ රට සුරකින ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න මේ ඓතිහාසික අවස්ථාව යොදාගන්න ඕන. යුතුකම සංවිධානය අද ඒ වගකීම තමයි සමස්ත රට වෙනුවෙන් තමන්ගේ උරමතට අරගෙන කටයුතු කරන්නේ. මේ රට විදේශීය බලවේගවලින් මුදවාගත හැකි බාහිර බලවේගවලින් සුරක්ෂිත කළ හැකි ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කරගන්න ඕන.

මේ රටේ සම්පත් පාලකයන්ගේ අභිමතය අනුව විකුණා දැමිය නොහැකි වන ආකාරයේ ව්‍යවස්ථාවක් මේ රටට ඕන. වර්තමාන ව්‍යවස්ථාවෙන් අපේ රටේ සම්පත්වලට ආරක්ෂාව නොලැබෙන නිසා තමයි අපේ වරාය ඇතුළු සම්පත් විදේශිකයන්ට කුණු කොල්ලයට විකුණා දමන්න පුළුවන් වුණේ.

අනාගත ආණ්ඩු මේ රටේ ජනතාවට හංගලා ගිවිසුම් ගැසීම වළක්වන ප්‍රතිපාදන ව්‍යවස්ථාවට ඇතුළු කරගන්න බැරි වුණොත් මේ රටේ ඉතිරිවෙලා ඇති සම්පත් ටිකත් මතු පරම්පරාවෙන් ඩැහැ ගැනීම නතර කරන්න බෑ. මේ රට කෑලිවලට කඩන අන්තවාදී දේශපාලන න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන ආණ්ඩුවක් ඇති වන එක වළක්වන්න බෑ.

අද කොටි ත්‍රස්තවාදය නැතත් තවත් ත්‍රස්තවාදයක් මේ රටේ නිර්මාණය කරන්න විදෙස් බලවේග කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් දළදා මාළිගාවටත් පහර දෙන්න සැලසුම් කළ බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. රට මෙතනට වැටුණේ මේ රටේ පණ ඇති ආණ්ඩුවක් පත්කරගත නොහැකි තැනට පත්කර ඇති නිසායි.

ඒ නිසා වහාම අන්තවාදීන්ගේ තොර පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කරගත යුතුයි. ජනතාව මේ රට රකින දේශප්‍රේමි ව්‍යවස්ථාවක් හදන්න 2/3 බලයක් පත්වන ආණ්ඩුවකට ලබා දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙම නොවුණොත් මේ රට නොබෝ කලකින් විනාශ වන එක පිළිබඳ කිසිම සැකයක් නෑ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස