දෙරට අතර ගිවිසුම් ජනතාවට පැහැදිලි කර ජනතා අනුමැතියෙන් ක්‍රියාත්මක කළ යුතුයි…! – ජනපති ඉන්දීය විදේශ ලේකම්ට කියයි….

October 5, 2021 at 11:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගනු ලබන ද්විපාර්ශ්වීය තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතා බහුතර කැමැත්ත ඇතිව ඒවා ක්‍රියාවට නැංවීම අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා හමුවේ පැවසීය.

දෙරට අතර එකඟතාවන්ට එළඹ ගනු ලබන තීරණ පිළිබඳව ජනතාය නිවැරදිව දැනුම්වත් කළ යුතු අතර ඒවායේ වාසි අවාසි ද පැහැදිලි කර දිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ ඉන්දීය විදේශ ලේකම්වරයා අතර හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (05) පෙරවරුවේ පැවති අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා, ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක, 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ද පැවසීය.

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතින බව කී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපේක්ෂාව බව ද කීවේය.

ඒ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට තමා එක්සත් ජාතීන්ගේ සංවිධාන රැස්වීමේදී දෙමළ ඩයස් පෝරාවට සහ විදෙස්ගත දෙමළ ජනතාවට විවෘත ආරාධනාවක් කළ බව ද ගෝඨාභය රාජපක්‍ෂ ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස