දෙමළ පක්ෂවල යෝජනා 13 ක්‍රියාත්මක වුණොත් උතුරේ බෞද්ධ උරුමය ඉවරයි! ආණ්ඩුවට වහාම උතුරේ බෞද්ධ උරුමය රකින ලෙස නියෝග කරන්න! – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්….

October 29, 2019 at 2:55 pm | by emanisa.lk

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කලාප හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයට නියම කරන්නැයි ඉල්ලමින් නීතිඥ දර්ශන වේරදූවගේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (28දා) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ උරුමය විදහාපාන පෞරාණික කලාප විනාශ කිරීමේ ක්‍රියාදාමයක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බව සිය පෙත්සමේ සඳහන් කරන පෙත්සම්කරු, පසුගිය දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදු වූ සිදුවීම්වලින් ඒ බව පෙනෙන්නට ඇති බවද පෙත්සමේ සඳහන් කොට ඇත.

දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් 13ක් ඇතළත් යෝජනාවලිය මගින් මෙම අනතුර තවදුරටත් තීව්‍ර වී ඇතැයි පෙන්වාදෙන පෙත්සම්කරු අදාළ ඉල්ලීම් 13 ක්‍රියාවට නැංවුණහොත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් විනාශ වීමේ අවදානමක් පවතින බවද පෙන්වා දී ඇත.

නීතිඥ දර්ශන වේරදූවගේ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මුලතිව්, උප්පුවේලි සහ ඕමන්ත යන පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්, බුද්ධශාසන කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල සහ නීතිපතිවරයා නම් කොට ඇත.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු මෙම පෙත්සම විශේෂ විනිසුරු මඬුල්ලක් හමුවේ ඉදිරියේදී විභාගයට ගන්නා ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස