දූෂිත ගනුදෙනු 560 කින් ඉහළින්ම ඇති ෆයිල් 165 ක් එළියට….! – ගහපු ගැහිලි අනුර රටට කියයි….

May 4, 2022 at 11:17 am | by emanisa.lk

රාජපක්‍ෂ පවුල ඇතුළු පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශපාලන හිතවතුන් රැසක් පසුගිය කාලය පුරා සිදුකර ඇතැයි කියන දූෂිත ගනුදෙනු ඇතුළු වංචා දූෂණ රැසක ලිපිගොනු ඊයේ (03 වැනිදා) ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක රට හමුවේ අනාවරණය කළේය.

එහි දී ජවිපෙ දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් දැනට අනාවරණය කරගෙන ඇති දූෂණ ගනුදෙනු 560 ක් අතුරින් ඉහළින්ම ඇති ගනුදෙනු 165 ක ලිපිගොනු අනාවරණය කෙරිණි.

“රට වනසපු හොරු වළල්ල තොගපිටින් හෙළිදරව්ව” මැයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය කොළඹ පදනම් ආයතනයේ පවත්වනු ලැබූ විශේෂ සම්මන්ත්‍රණයේදී අනුර කුමාර දිසානායක මහතා මෙම ලිපිගොනු පිළිබඳ අනාවරණය කළේය. එහිදී එම ලිපිගොනු කිහිපයක් සම්මන්ත්‍රණයට සහභාගි වූ අය ලවා අහඹු ලෙස තෝරාගෙන විග්‍රහ කිරීම සිදු කෙරිණි.

එහිදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරු ද දූෂණ පිළිබඳ ලිපිගොනු ඉදිරිපත් කළහ.

● ජාලියගේ දූෂිත ගනුදෙනුව
නිරූපමා – තිරු නඩේෂන්ගේ පැන්ඩෝරා පත්‍රිකා
අනුර කුමාර දිසානායක මහතා විසින් අහඹු ලෙස ලිපිගොනු තෝරා ගැනීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයක් මිලට ගැනීමේදී ජාලිය වික්‍රමසූරිය මහතා සිදුකර ඇතැයි කියන ඩොලර් මිලියන 3.3 ක දූෂිත ගනුදෙනුව තිරුනඩේෂන් සහ නිරූපමා රාජපක්‍ෂ යන අයගේ ධනය ඩොලර් මිලියන 100 ක් ඇතැයි කියන පැන්ඩොරා පත්‍රිකා පිළිබඳ ලිපි ගොනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා වාරිමාර්ග ඇමැතිවරයාව සිටි 2014 වසරේ චීන සමාගමක් සමග සිදුකර ඇතැයි කියන ඩොලර් මිලියන 5 ක ගං නිල්වලා අයථා ගනුදෙනුව මෙරට ඉතිහාසයේ විශාලතම ගනුදෙනුව වන ඩොලර් බිලියන 2.2 ක ප්‍රංශ එයාර් බස් ගනුදෙනුව සහ ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිදුකළ ගනුදෙනු රැසක් පිළිබඳ මෙහිදී අනාවරණය කරනු ලැබීය.

● යෝෂිතගේ – බැසිල්ගේ ඉඩම් ලැයිස්තුව
සම්මන්ත්‍රණයට පැමිණ සිටි ජනතාව ලවා අහඹු ලෙස ලබාගත් පළමු ලිපි ගොනුව ලෙස අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්‍ෂ මහතාට අයත් බව කියන ඉඩම් ලැයිස්තුව සහිත ලිපිගොනුව අනාවරණ කළ අතර එහිදී සිරිබෝපුර ඉඩම් සී.එස්.එන්. නාලිකාවට අයත් බත්තරමුල්ල ඉඩම ඇතුළු ඉඩම් 31 ක ඔප්පු අංක සහිත තොරතුරු අනාවරණය කෙරිණි. එහිදී සී. එස්. එන්. නාලිකාවට අයත් ඉඩම් පවරා ගැනීම මුදල් විශුද්ධිකරණ පනත යටතේ නඩු පැවරිය හැකි බවත් දිසානායක මහතා පැවසීය.

අනතුරුව ලබාගත් ලිපි ගොනු තුළ බැසිල් රෝහණ රාජපක්‍ෂ මහතා උපයාගත් ආකාරය පැහැදිලි කිරීමට අසමත් වූ මල්වාන ඉඩම, මාතර බ්‍රවුන්ස් හිල් ඉඩම, 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුළු දූෂණ ගණනාවක් මෙහිදී හෙළි කිරීම සිදුවිය.

● සජිත් – කිරිඇල්ල – රාජිතගේ අයථා ගනුදෙනු
මෙහිදී අනුර කුමාර දිසානායක මහතා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන තුනක මුදල් අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධ ලිපිගොනු ද, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න යන මහත්වරුන්ගේ අයථා ගනුදෙනු සම්බන්ධ ලිපිගොනු ද ඇති බව පැවසීය.

● නාමල්ගේ ක්‍රිෂ් ගනුදෙනුව
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා සම්බන්ධ වී ඇති බව කියන ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳව අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

අපි පැමිණිල්ල දාන්නේ ක්‍රිෂ් ගනුදෙනුවෙන් මුදල් ලබාගැනීම පිළිබඳව. එහි සල්ලි නාමල් රාජපක්‍ෂ මහතාට දුන් බව නිමල් පෙරේරා රජයේ සාක්‍ෂිකරුවකු ලෙස පිළිගෙන තිබෙනවා. මෙම ගිණුම හොයාගෙන යනකොට එකී ගිණුමෙන් නිමල් පෙරේරා නාමල් රාජපක්‍ෂට සල්ලි ලබාදී තිබෙනවා. ගිණුම පරීක්‍ෂා කරද්දී හම්බන්තොට සහ නුවරඑළිය රෝහල් ඉදිකිරීම්වලදී සැපයුම් හා යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් අයථා ගනුදෙනු සිදුව ඇති බව සඳහන් වෙනවා.
හම්බන්තොට රෝහල ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී ඩොලර් මිලියන ගණනක මුදල් විශුද්ධිකරණය පිළිබඳ විමර්ශනයකට ඇස්පෙන් මෙඩිකල් සමාගම ලක්ව ඇති බව ඔස්ටේ්‍රලියානු ඒ. බී. සී. ජාත්‍යන්තර රූපවාහිනි නාලිකාව ඉකුත් 01 වැනිදා වාර්තා කර තිබුණා. එහිදී නිමල් පෙරේරා මහතා සහ නාමල් රාජපක්‍ෂ අතර ඇති සම්බන්ධතා ගැන වාර්තා කර තිබුණා.

● යහපාලනේ බැඳුම්කර ගැහිල්ල
ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා යහපාලන රජය සමයේ සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙහිදී තවදුරටත් හෙළි කළේය.

මෙම වංචා දූෂණ ලිපිගොනු පිළිබඳ හෙළි කිරීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මෙරට ක්‍රියාත්මක දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ දේශපාලනඥයන් සහ ඒ වටා ගෙතුනු වළල්ල ඉතා ප්‍රබල බැවින් එය මැඬලීමට ප්‍රබල ජනතා ව්‍යාපාරයක් අවශ්‍ය බවත් ඒ සඳහා දූෂිත නොවූ නව පාලන තන්ත්‍රයක් රටට අවශ්‍ය බවත්ය.
රට වළපල්ලට යැවූ දූෂිත වළල්ල

මේ වනවිට රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයට මෙම දූෂිත වළල්ල සෘජුව වගකිව යුතු යැයි ද හෙතෙම කීවේය. මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, නීතිඥවරු ඇතුළු පිරිසක් එක්වූහ.

සිරිමන්ත රත්නසේකර (දිවයින)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස