දුම්රියේ ආසන ගණනට මගීන් ගෙන යාමට සූදානම්! දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නොමැති අයටත් අවස්ථාව!

May 12, 2020 at 5:04 pm | by emanisa.lk

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබේ.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ රාජකාරි සඳහා වාර්තා කරන සේවකයින් සඳහා ප්‍රවාහන සේවා විධිමත්කිරීම සම්බන්ධව අද දින (12) විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීන්දුව ගෙන තිබේ.

දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහණය සඳහා අවසර ලබා දෙන අතර එහිදී ද ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා සඳහා අදාල වැඩබිම්වලට සේවය වාර්තා කරන පිරිස් සඳහාය.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයට ටිකට්පත් නිකුත් කිරීම ද හෙට සිට ආරම්භ කෙරෙන අතර ඒ සඳහා ඔවුන් සේවය කරන ආයතනයේ හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

කොරෝනා වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යවශ්‍යම කටයුත්තකට හැර පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට කටයුතු  නොකරන ලෙස මහ ජනතාවට දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස