ජනාධිපති සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කළ බව කියන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගැනීම සඳහා සොයන බව කියූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැත්තා ඊයේ (11) වෙනත් නඩුවක් සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.
එමෙන්ම ඔහු එම නඩුව අවසන් වූ පසු අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව පවතින නඩුව දැකබලා ගැනීම සඳහා විවෘත අධිකරණ ශාලාවට ද පැමිණ ඇත.
ජනාධිපති සමාව අවභාවිත කිරීමට අදාළව ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසා තිබුණේ විමර්ශනවල දී අනාවරණය වී ඇති පරිදි අතුර සේනාරත්න රටින් පළාගොස් ඇති බවයි.
කෙසේ වුව ද මෙම පුද්ගලයා ඒ වන විටත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ දී ශාලාවේ නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණි සිට විනිසුරුවරයාට පෙනෙන පරිදි අත ඔසවමින් තමන් සිටින බව තහවුරු කර ඇතැයි ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් නඩුව අවසන් වූ පසුව අතුල තිලකරත්න තම මිතුරන් පිරිසක් සමග අධිකරණ භූමියේ කතාබහ කරමින් සිට, තමන්ව අත් අඩංගුවට ගැනීමට සොයන බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අසලින්ම අධිකරණ භූමියෙන් පිටව ගිය බව ද වාර්තා වෙයි.