දිමුත්ට ටෙස්ට් තරඟයක වැටුප දඩයක් ලෙස ගෙවන්න වෙයි!

April 3, 2019 at 7:48 am | by admin

බීමතින් රිය පදවා අනතුරක් සිදු කර අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට ටෙස්ට් තරඟයක් සඳහා ඔහුට ගෙවන ඇමරිකානු ඩොලර් 7500ක මුදල දඩ ලෙස අය කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කිරීම නිසාය.

උත්සවයකට සහභාගී වී පසුගිය ඉරිදා උදෑසන නිවසට යමින් සිටි දිමුත්ගේ මෝටර් රථය බොරැල්ල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් වූ අතර ඒ අවස්ථාවේ ඔහු බීමත් සිටි බව අනාවරණය විය.

පොලිසිය අත්අඩංගුවට ගත් දිමුත්ට අනතුරුව පොලිස් ඇප ලැබුණු අතර උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථ වාහන අධිකරණය නියෝග කළේ ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කරමිනි.

හානිපුර්ණය කරන්නේ නම් නඩුව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් නැතැයි අගතියට පත් පාර්ශවය පැවසූ අතර ෆේස්බුක් ගිණුම ඔස්සේ දිමුත් සිය වරදට සමාව ඉල්ලා තිබිණි. එසේම අනතුරින් සුළු තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරුට නවතම ත්‍රිරෝද රථයක් ලබා දීමට ද ඔහු අධිකරණයේ දී පොරොන්දු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *