තොරතුරු සඟවමින් කොරෝනා ලෙඩෙක් ජාතික රෝහලට රිංගයි! කාර්ය මණ්ඩලයේ 14ක් ස්වයං නිරෝධායනයට!

March 25, 2020 at 7:19 am | by emanisa.lk

කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔහුගෙන් අසන ලද හරස් ප්‍රශ්නයන්ට කෝප වූ එම පුද්ගලයා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දීමට තැත්කළ සිදුවීමක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වේ.

කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වූ මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු හෝ ඔහුගේ කිසිවකුත් විදේශගතව නොසිටි බවට පුන පුනා ප්‍රකාශ කළ බැවින් ඔහු ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇත.

රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ සැකය හේතුවෙන් මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුත්‍රයා ඇමරිකාවේ සිට පැමිණි බවකි. ඒ අනුව වහාම ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේදී කොරෝනා රෝගකාරක විෂබීජය ශරීරගතව තිබෙන බව තහවුරු වී තිබේ.

එම තහවුරු වීමත් සමග මෙම පුද්ගලයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුව වෙත යැවීමට කටයුතු කර ඇත.

එසේම මෙම රෝගියා සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාලයේ ඇමරිකාවේ සිට පැමිණියා යැයි කියන ඔහුගේ පුත්‍රයාද රෝහල වෙත පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් අප රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතාගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ රෝගියාට සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකළ බවයි. ​

මෙසේ පුද්ගලයන් සත්‍ය වසන් කර කටයුතු කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස