තෛනිකායික නාහිමිවරු කිව්වාට වෙසක් උත්සවය කල් දමන්නේ නෑ! මට මොහොමඩ් වජිර කිව්වාට මම හොඳ සිංහල බෞද්ධයෙක්! – වජිර

May 9, 2019 at 5:39 pm | by admin

ඉතිහාසයේ ප්‍රථම වතාවට ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු කරන ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක නිසා කල් නොදමන බවත් එම කටයුතු සැලසුම් කළ ආකාරයටම තොටගමුව රජමහ විහාරයේ දී සිදුවන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ඊට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ද සමස්ත රට පුරා ද වෙසක් උළෙල උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පල්ලි පරික්ෂා කිරීමට තමා ඉඩ ලබා නොදුන්නේ යැයි ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද සියලුම පල්ලි සහ සැකකටයුතු ස්ථාන පරික්ෂාවට තමා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දුන් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. ඇතැමුන් තමන්ට මොහොමඩ් වජිර යැයි කිව්ව ද තමා හොඳ සිංහල බෞද්ධයෙක් ලෙස මුස්ලිම් ජනතාව සමග සහජීවනයෙන් කටයුුතු කළ නිසා ගාල්ල සමන්තුරේ වැනි ප්‍රදේශයක් නොවූ බවත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික වෙසක් උත්සවය සංවිධානය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමිනි.

කෙසේ වුවද තෛනිකායික මහා සංඝ රත්නය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයෙන් බියජනක සිතුවිලි පහව නොගිය පසුබිමක ජනතාවගේ ආරක්ෂාවට මුල් තැන දී ජනතාව ඒකරාශී කරන උත්සවවලින් වැළකී ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දී කටයුතු කිරීම වඩාත් සුදුසු බවය.

මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන,අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

පන්සල් 50කට පහර දීමට ත්‍රස්තවාදීන් සූදානම් වන බවත් ගැටලු නිමා වන තුරු වෙසක් පොසොන් උත්සව නොපවත්වන ලෙස ද ගලබොඩඅත්තේ ඥානසාර හිමි අනතුරු ඇඟවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස