තෙල් පිරිපහදුව තවත් වොක්ස්වැගන් බොරුවක්ද? සැකකටයුතු කරුණු රාශියක් පිළිබඳ හෙළිදරව්වක්!

March 25, 2019 at 10:25 am | by admin

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ මුල්ගල තැබූ තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කම්හල සඳහා ආයෝජනය කරන ආයතන සහ කොටස්කරුවන් පිළිබඳ මේ වන විට බොහෝ සැකසංකා මතුවෙමින් තිබේ. මේ ඒ පිළිබඳ අන්තර්ජාලයේ සංසරණය වන ලිපියකි.

අද මුල්ගල් තැබූ තෙල් පිරිපහදුව සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු.. (අවසානය තෙක් කියවන්න)

1. මුළු ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 3.95 ක් වන අතර එයින් 30% ක් ඕමාන තෙල් අමාත්‍යාංශය විසින් දරන බව පැවසුවද එහි ප්‍රකාශකයෙක් එය ප්‍රතික්ෂේප කරන ලදි. කෙසේ වෙතත් කබීර් හෂීම්ගේ පුද්ගලික මිතුරෙක් ලෙස ඕමාන් තෙල් ඇමතිවරයා එහි ආරම්භක අවස්ථාවට එක්විය.

2. සිංගප්පූරුවේ ලියාපදිංචි වී ඇතැයි පැවසෙන Silver Park International (Pvt) Ltd සමාගම මින් 70% ක ආයොජනයක් කරන බව පවසයි. කෙසේ වෙතත් ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කළේ එම ආයෝජනය තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලකයකුගේ පවුලකට සම්බන්ධ සමාගමක් විසින් සිදු කරන බවය. දකුණු ඉන්දීය දේශපාලකයෙකු වන ජේ. ජගත්රාක්ෂන් නැමැත්තෙක්ට මෙම සමාගම අයත් බවත් ඔහු සම්බන්ධව විවිධ වංචා දූෂණ රැසක් ඇති බවත් වාර්තා වේ.

3. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට සුදානම්වන සිංගප්පූරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනාගෙන් තිදෙනෙක් මෙම ඉන්දීය දේශපාලඥයාගේ ඥාතීන් බව ද හින්දු පුවත්පත අනාවරණය කළේ ය.

සන්දීප් ආනන්ද් නමැති ඔහුගේ පුත්‍රයා, ශ්‍රී නිෂා නමැති දියණිය සහ ජගත්රාක්ෂගන් අනුසුයා නමැති ඔහුගේ බිරිඳ මෙලෙස අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් විය.

4. ලංකාවේ විශාලතම ආයෝජනය කිරීමට සැරසෙන නැමති සිංගප්පූරු සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කොට ඇත්තේ 2017 වර්ෂයේදීය. කෙසේ වෙතත් මෙම යෝජනාව ආයෝජන මණ්ඩලයට යොමු කොට ඇත්තේ 2016 වසරේදීය.

5. මෙම ව්‍යාපෘතියේ පාරිසරික අධ්‍යයන වාර්තාව තවමත් නිකුත් කර නොතිබීම මෙන්ම මෙවැනි විශාල ව්‍යාපෘතියක කොන්දේසි සම්බන්ධව කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා නොවීමත් දැඩි සැකයට තුඩු දේ.

6. එමෙන්ම මෙම සමාගමේ වෙබ් අඩවියේ ඔවුන් මින් පෙර සිදු කළ කිසිදු ආයෝජනයක් ගැන සඳහන් නොවන අතර ඉතාම ප්‍රාථමික මට්ටමේ වෙබ් අඩවියකි. සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් ලෙස ප්‍රකාශ වුවද එහි ඇත්තේ ඉන්දියානු ලිපිනයකි.

7. මෙම ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණයක් වෙන්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුයේ පසුගිය මාර්තු මස 6 වැනිදාය.

ඒ පිළිබඳ වූ කැබිනට් තීරණය මාධ්‍ය වෙත නිකුත්වූයේ මෙලෙසිනි:

“වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවයක් සහිත අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ඉදි කිරීමට සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම පිණිස යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. අදාළ ආයෝජන යෝජනාවේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400ක බිම් ප්‍රමාණයක් ආයෝජකයා වෙත බදු පදනම මත ලබා දීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි,”

8. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා වැය වූ මුදලට වඩා වැඩි ආයෝජනයක් වූ මෙම ව්‍යාපෘතිය, ජාත්‍යන්තර මාධ්‍යවල ද අවධානය යොමු වූ අතර රොයිටර් පුවත් සේවය එය ප්‍රධාන පුවතක් ලෙස පළකර තිබුණි.

9. ලොව විශාලතම තෙල් පිරිපහදුව වන රිලයන්ස් සමාගමට අයත් ජම්නගර් තෙල් පිරිපහදුව දිනකට තෙල් බැරල් 1,240,000 ක් පිරිපහදු කරයි. එහි සේවකයන් 2500 ක් සේවයේ නියුතු අතර අක්කර 7500 ක් පුරා පැතිර පවතී.

නලින් බණ්ඩාර ජයමහ අමාත්‍යවරයා පවසන පරිදි යෝජිත හම්බන්තොට පිරිපහදුව අක්කර 400 ක පැතිර ඇති අතර දිනකට බැරල් 200000 (වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10) ක් පමණ පිරිපහදු කරන අතර 2500 කට සෘජු රැකියා ලැබීමට නියමිතය.

ඒ අනුව ලොව විශාලතම පිරිපහදුවේ සේවය කරන සේවකයන් ප්‍රමාණයට සමාන පිරිසක් මෙහි සේවය කරනු ඇත.

10. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ගණන් බැලීම අනුව මෙමගින් ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 7 කින් ඉහල දමාගත හැකිවනු ඇත.

11. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ආයතන සම්බන්ධව අන්තර්ජාලයේ වැඩි විස්තර සඳහන් නොවන නමුත් මෙවන් ආයෝජනයක් කිරීමට තරම් මොවුන්ට හැකියාව සහ දැනුම ඇති බවට බැලූ බැල්මට නොපෙනේ.

12. ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවකදී මෙම ව්‍යාපෘතිය හැඳින්වූයේ “වොක්ස්වැගන් 2” යනුවෙනි. ඒ මෙයද ආණ්ඩුව බලයට පත්වූ විගස ආරම්භකරන බව පැවසූ, පසුව අසාර්ථක වූ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වැනි ව්‍යාපෘතියක් බව හඳුන්වමිනි. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙවන් ක්‍රියාත්මක නොවන ව්‍යපෘති සඳහා මුල්ගල් තබන බවට ද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේය.

කනිෂ්ක දුෂ්මන්ත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස