තිරිකුණාමල තෙල් ටැංකි 99ට රැකගත යුත්තේ ඇයි? තෙල් ටැංකිවල ඉතිහාස කතාව මෙන්න….

October 7, 2021 at 11:22 pm | by emanisa.lk

1)1934 බ්‍රිතාන්‍යයන් විසින් ස්ථාපිත කරන ලද මෙම ටැංකි සංකීරණය සඳහා 1964 වසරේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවුම් දෙලක්ෂ පනස් දාහක් (250,000) බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ගෙවා ටැංකි සංකීර්ණය භාවිතාවට ගන්නා ලදී.

එහෙත් මෙම ඉඩමේ අයිතිය ලංකාවේ ආණ්ඩුවට තිබුණ හෙයින් කුමන හෝ හේතුවක් නිසා 2003 වසරේ ඉන්දියන් ඔයිල් සමාගමට ටැංකි සංකීර්ණය අවුරුදු 35කට බදු දෙන තුරුත් ඉඩමේ අයිතිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබී නොතිබිණි.

මෙහි ටැංකි අංගනය කොටස් දෙකකි. පහල ටැංකි අංගනය තුළ ටැංකි 15 කුත්,ඉහළ ටැංකිය අංගනය තුළ ටැංකි අසූ හතරකුත් ( 84) පිහිටා ඇත.
ටැංකි පිහිටි ප්‍රදේශය හා මෙහි සම්පුර්ණ ඉඩම අක්කර 840 කි.

2.1964 පසු එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ “වගා සංග්‍රාමය ” නම් වූ මෙරට සිදුකිරීමට බලාපොරොත්තු වූ මහා විපර්යාසය ඇති වූ කාල සීමාව තුළ දී මෙම ඉඩම වගා කටයුතු සඳහා යොදා ගෙන ඇත.

තව ද කන්තලේ සීනි සමාගමේ සීනි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වූ “මොලාසස්”
නම් අමුද්‍රව්‍ය මෙම ටැංකි සංකීරණයේ එක් ටැංකියක ගබඩා කොට භාවිතාවට ගන්නා ලදී.

3. ඒ අතරතුර දී නැගෙනහිර පළාතේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහාත්, වැලිකන්ද ප්‍රදේශයේ පිහිටා තිබූ දුම්රිය පස ගබඩාව සඳහා අවශ්‍ය වූ ඉන්ධන මෙම ටැංකි සංකීර්ණයේ ගබඩා කර තිබූ ඉන්ධන දුම්රිය මගින් මෙම ස්ථානයේ සිට ගෙන යන ලදී.
මුල් කාල වකවානුව තුළදී ඉන්ධන බෙදාහැරීම දැනට භාවිතාවට නොගන්නා ඉහළ ටැංකි අංගනය තුළ ඉන්ධන පිරවුම් අට්ටාල ස්ථාපිත කොට බෙදාහැරීම් කටයුතු සිදු කර ඇත.

තවද දුම්රිය සඳහා ඉන්ධන ලබා දීමේ පිරවුම් අට්ටාලද මෙම ඉහල ටැංකි අංගනය තුළ පිහිටා තිබිණ .
ඉන්දියන් ඔයිල් සමාගමට මෙම ටැංකි සංකීර්ණය බදු දෙන තුරු 2003 වසර දක්වා ඉහළ ටැංකිය අංගනයේ ටැංකි අංක 71, 72,74,75,77,යන ටැංකි ඩීසල් සහ භූමිතෙල් සඳහා භාවිත කොට ඇත.
ටැංකි අංක 38 ,39, 40 ,දැවි තෙල් සඳහා භාවිත කොට ඇත.

පසුකාලීන ක්‍රමක්‍රමයෙන් පහළ ටැංකි අංගනය පිහිටි භූමිය තුළ පිරවුම් අට්ටාල ස්ථාපිත කොට ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදු කරන ලද අතර එම භූමිය තුළ පිහිටි ටැංකි 15 ද භාවිතාවට ගන්නා ලදී.
(1995,10,16.රැකියාවට බැඳුණු මම 1997 වසරේදී චීන වරාය වරායේ තෙල් ටැංකි සංකීර්ණයේ සේවය කරන සහෝදර සේවක සේවිකාවන් ගේ පුහුණු පාඨමාලාවක් සඳහා සතියක් එහි ගොස් නැවතී සිටි කාලය තුළදී මෙම ක්‍රියා කරවුම් කටයුතු සිදුවන ආකාරය දැක ඇත.)
නිදහසින් පසු ප්‍රථම වතාවට මෙම ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාවිතාවට ගනු ලැබීමට සූදානම් වන බව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම කොතරම් අසාධාරණද?

මෙම ටැංකි සංකීර්ණය 2003 වසරේ දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියන් ඔයිල් සමාගමට නීතියානුකූලව බදු දී තිබේද ?

1.මෙම ටැංකි සංකීරණයේ එක් ටැංකියක් සඳහා වසරකට ඩොලර් දහස බැගින් ටැංකි අනූ නමයට වසරකට ඩොලර් 99,000 හා වෙනත් පහසුකම් සඳහා ඩොලර් ලක්ෂයකට තාවකාලික ගිවිසුමක් මගින් වසර 35 ක් සඳහා මුළු ටැංකි සංකීර්ණය ම ඉන්දියන් ඔයිල් සමාගමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් බදු දී ඇත.

මෙම ගිවිසුම සඳහා ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර චරිත රත්වත්තේ මහතා හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ දහම් විමලසේන මහතා ද, ඉන්දියන් ඔයිල් සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ද අත්සන් තබා ඇත.

මෙම ගිවිසුම නීතියානුකූල නොවන්නේ ඇයි?

1.මෙම ගිවිසුම අත්සන් කරන විට ටැංකි සංකීර්ණය පිහිටා තිබූ භූමියේ අයිතිය ලංකාවේ ආණ්ඩුව සතු වූ බැවින් ආණ්ඩුව සතු ඉඩමක් විදේශීය සමාගමකට බදු දීම හෝ විකිණීමක් සිදු කරන්නේ නම් එය නීතියානුකූල විම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි විය යුතුය. මා දන්නා තරමින් මේ සඳහා එවැනි අනුමැතියක් ලැබී නොමැත.

2.තාවකාලික ගිවිසුමක් ලෙස අත්සන් කරනු ලැබූ මෙම ගිවිසුමේ සාමාන්‍ය කොන්දේසි යටතේ 1.2 යටතේ මාස හයක් තුළ දී විධිමත් බදු ගිවිසුමක් අස්සන් කළ යුතු බවට දෙපාර්ශවය එකඟ වී ඇත.එහෙත් තවමත් එවැනි විධිමත් ගිවිසුමක් අත්සන් කොට නොමැත.

3. 2017 වසරේ දී ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් එවමින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සඳහා විධිමත් බදු ගිවිසුමක් අත්සන් කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.
මේ අනුව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සඳහා විධිමත් බදු ගිවිසුමක් නොමැති බව අපගේ විශ්වාසයයි.

වර්තමාන විෂය භාර විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා පවසන ආකාරයට ඉන්දු ලංකා ගිවිසුම මගින් හෝ 2003 වසරේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියාවට මෙම ටැංකි සංකීර්ණය සදාකාලික ලබාදී තිබේද ?

පිළිතුර, නැත.

ඉන්දු ලංකා ගිවිසුමේ මේ සම්බන්ධයෙන් සෘජුව සඳහන් කොට නොමැති අතර ඊට සම්බන්ධ ඇමුණුම් ( 2.111 )යටතේ
“ත්‍රීකුණාමලයෙහි ඇති තෙල් ටැංකි සමූහය ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගැනීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කරනු ඇත”
යනුවෙන් සඳහන් කොට ඇත. තව ද ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක නොවන සහ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද ගිවිසුමක අඩංගු කරුණු සම්බන්ධයෙන් මෙවැනි වටිනා ජාතික සම්පතක් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීම සදාචාරාත්මක නොවන බව මාගේ විශ්වාසයයි.

පසුකාලීනව මෙම ටැංකි සංකීර්ණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට භාවිතා කිරීම සඳහා එක් එක් කාල වකවානු තුළදී අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අය ගෙනෙන ලද යෝජනා මොනවාද ?

1.2016 වසරේ විෂය භාර විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා විසින් දැනට පවතින ගිවිසුම යටතේම ගිවිසුම් කාලය තුලදී ජාතික අවශ්‍යතාවය සඳහා මෙම මෙම ටැංකි සංකීර්ණයෙන් ටැංකි දාසයක් ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට අනුමත කරන ලදී. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට ඉන්දියන් ඔයිල් සමාගම ඉඩ දුන්නේ නැත.

2.2016 වසරේ දී දීම වසරේ දී ම නැවත වතාවක් ජාතික අවශ්‍යතාවය පෙන්වාදෙමින් ගිවිසුම් කාලය ක්‍රියාත්මක වන කාලය තුළදීම ඉන්ධන ගබඩා කිරීම සඳහා ටැංකි දාසයක් ලබාගැනීමට ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා සහ විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ද අනුමත වුවද එයද ඉටු කර ගැනීමට නොහැකි විය.

3.ඉන්පසු 2017 වසරේ දී අග්‍රාමාත්‍ය ව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහතින් සඳහන් කරන ලද කැබිනට් පත්‍රිකා දෙකම අවලංගු කරන ලදී .

4.ඉන්පසු 2017 වසරේ දී විෂය භාර අමාත්‍යවරයා ලෙස අර්ජුන රණතුංග මහතා විසින්

1. පහළ ටැංකි අංගනයේ ටැංකි 15 අත්සන් කරනු ලබන දින සිට තවත් වසර අනූ නවයක් සඳහා ද ,
2.ඉතිරි ටැංකි 84 සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම සමඟ ඒකාබද්ධ සමාගමක් ඇති කොට සංවර්ධනය කරන ටැංකිවලින් රටේ අවශ්‍යතාවය සඳහා ටැංකි දාසයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බදු දීමටත්,ඉතිරි ටැංකි 68 එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා යෙදවීමටත් යෝජනා කර තිබුණි. මෙම සමාගමේ 50% ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉතිරි 50% ඉන්දියන් ඔයිල් සමාගමටත් හිමිවන ආකාරයට සඳහන් විය.

මෙම අසාධාරණ, අයුක්තිසහගත, දේශද්‍රෝහී යෝජනාවට අදාළ කැබිනට් පත්‍රිකාව යහපාලන ආණ්ඩුව විසින් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව 2017.04.28. දින සිට අවස්ථා ගණනාවකදී දැවැන්ත වැඩ වර්ජන සිදු කොට මෙය ක්‍රියාත්මක කිරීම නතර කර ගන්නා ලදී.
තවද මෙම කරුණු පාදක කරගෙන අංක 2017/319 දරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් කඩවීමේ නඩුවක් වෘත්තීය සමිති එකමුතුව මගින් පවත්වාගෙන යනු ලැබේ. මේ සඳහා දැනට රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් වියදම් කර ඇත.

වර්තමාන විෂයභාර කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරා ගන්නට යන්නේ කෙසේද? ඒ සඳහා කරනු ලබන යෝජනා මොනවාද ?

 

1.පහල ටැංකිය අංගනය සතුවූ ටැංකි 15 අත්සන් කරනු ලබන දින සිට තවත් වසර පනහකට ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දීමටත්

2. ඉතිරි ටැංකි 84 න් ටැංකි 24 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ආණ්ඩුවෙන් බදු දීමටත්,

3. ඉතිරි ටැංකි 60 සඳහා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමටත්, මෙම සමාගමේ 51% අයිතිය සංස්ථාවටත්, 49% අයිතිය ඉන්දියන් ඔයිල් සමාගමටත් ලබාදීමට යෝජනා වී ඇත.

4.මෙම සමාගමේ සභාපති වරයා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් 04 සංස්ථාවටත්,
කළමනාකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් 03 දෙනෙකු ඉන්දියන් ඔයිල් සමාගමටත් ලබාදීමට යෝජනා කර ඇත.

ඇමතිතුමා පවසන ආකාරයට මේ යෝජනාව තුලින් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීමක් සිදුවන්නේද කියා සිතීම ඔබ සතුය.

රටේ අවශ්‍යතාව සදහා මෙම ටැංකි සංකීර්ණය සංස්ථාවට ලබාදුන හොත් මෙය සංවර්ධනය කිරීම හා ප්‍රයෝජනයට ගැනීම පිලිබද සවිස්තරාත්මක යෝජනාවලියක් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ලබාදී ඇත.

මෙම ටැංකි සංකීර්ණය රටට වටින්නේ ඇයි?

1.ආරක්ෂාව අතින් හා ලෝකයේ ස්වාභාවික වරායන් කිහිපයක් අතරින් මෙය ප්‍රධාන වරායක් තුල පිහිටා තිබීම.

2.සංගමන්කන්ද තුඩුවේ සිට දින 1/2 පමණ කාලයකින් වරායට සේන්දු වීමේ අවස්ථාව ලැබීම තුලින් නැව් ගාස්තු අඩුකර ගැනීමට හැකියාව ලැබීම.
සංගමන්කන්ද සිට කොළඹ වරායට නැවක් සේන්දු වීමට දින 02 ට ආසන්න කාලයක් ගතවේ.
ආසන්න වසයෙන් දිනකට නැව් ගාස්තු ඩොලර් 20000 සිට ඉහලට පවතී.

3.කොළඹ වරායේ පිහිටි ඉන්ධන ගොඩබෑමේ බෝයාව ගොඩබිම සිට කි.මී.09 දුරකින් ද, මුතුරාජවෙල බෝයාව කි.මි.06 න් පිහිටා ඇති අතර, ඒවා නඩත්තු කිරීමට හා ක්‍රියාකරවුම් කටයුතු සදහා විශාල මුදලක් දැරීමට සිදුවේ. මුහුද රලු කාලවලදී මෙම බෝයාවල් මගින් තෙල් ගොඩබෑම ඉතාමත් අපහසු කාර්‍යයකි.

ත්‍රීකුණාමලය තෙල් ගොඩබෑමේ ජැටිය ගොඩබිම සිට කි.මි.01 දුරකින් පිහිටා ඇත. ඕනෑම කාලයක දී මෙම ජැටිය මගින් ඉන්ධන ගොඩබෑම් කල හැක.

4. දැනට උතුරු ,නැගෙනහිර පලාත් දෙකේ පවතින අවශ්‍යතාව සදහා ඉන්ධන බෙදාහැරීම් මේ මගින් සිදු කළහොත් ප්‍රවාහන වියදමින් පමණක් වසරකට රු.බි.1.5 වැඩි මුදලක් ඉතිරි කරගත හැක.

5. කොළඹ ආශ්‍රිත ඉන්ධන ගොඩබෑම්වලින් සිදුවන ප්‍රමාද ගාස්තු ලෙස නැව්වලට ගෙවන විශාල මුදල නැතිකර ගැනීමට හැකිවීම.

6. කොලොන්නාව,මුතුරාජවෙල,සපුගස්කන්ද හා තොගතෙල් ගබඩාවල දැනට ගබඩා කළ හැකි ඉන්ධන ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 500,000 ක් වන අතර ත්‍රීකුණාමලය තෙල් ටැංකි තුල මෙට්ට්‍රික් ටොන් 1000000 ක් ගබඩා කල හැක.

මේ තරම් වටිනා සම්පතක් ආරක්ෂා කරගැනීම ශ්‍රී ලාංකික අප සැමගේ යුතුකමක් නොවන්නේද?

Bandula saman kumara.

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස