තිරිකුණාමල තෙල් ටැංකිවල අයිතිය සදාකාලිකව ම ඉන්දියාවට ලබා දී අවසන්…! – ගම්මන්පිල…

October 4, 2021 at 6:45 pm | by emanisa.lk

තිරිකුණාමලයේ ඇති තෙල් ටැංකි සියයේම අයිතිය මේ වන විටත් ඇත්තේ ඉන්දියාව සතුව බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එම තෙල් ටැංකි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩු විසින් 1987 සහ 2003 වසරවල අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් මගින් සදාකාලිකවම ඉන්දියාවේ භුක්තියට ලබා දී ඇති බව කී ඇමතිවරයා ඒවා යළි ලබාගැනීමට තමන් උත්සාහ කරමින් සිටින බව ද කීවේය.

එසේ තිබියදී තමන් ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හෙලිකොප්ටරයෙන් තිරිකුණාමලයට ගොස් තෙල් ටැංකි ලබාදීමේ ගිවිසුමකට අත්සන් කළ බවට නැගෙන චෝදනා හාස්‍යජනක බව කී ඇමතිවරයා තමන් ඇමති ධූරයට පත්වූ පසු කිසිවකු සමඟ හෙලිකොප්ටර් සවාරිවල නිරත වී නැතැයි ද සඳහන් කළේය.

තිරිකුණාමලය තෙල් ටැංකි භාරදීමේ ගිවිසුමකට අත්සන් කිරීමට නම් ඒ අසලට යා යුතු නැති බවත්, ලෝකයේ කොයි මුල්ලක සිට අත්සන් කළත් ගිවිසුම් වලංගු වන බවත් උදය ගම්මන්පිල පැවසීය.

මෙම තෙල් ටැංකි 2023 වසරේ නැවත මෙරටට ලැබෙන බව ඇතැමුන් කීවත් ඉන්දු ලංකා ගිවිසුම්වල එවන් කිසිදු වගන්තියක් නැතැයි ද ඇමතිවරයා පැවසීය.

ඇමති ගම්මන්පිල මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යාංශයේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස