දිවයිනේ විවිධ ප්‍රදේශවල තැන තැන රජයට අයත් සුඛෝභෝගී වාහන දමා ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙතෙක් ලද පැමිණිලි 10 න් 9 ක්ම රජය අපහසුතාවට පත් කිරීම සඳහා ව්‍යාජ පැමිණිලි බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 29 වෙනිදින සිට ලද එකී පැමිණිලි සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හැව්ලොක් සිටි, පන්නිපිටිය නාරහේන්පිට හා බත්තරමුල්ල ආදී උපදේශවලට ගොස් සිදුකළ විමර්ශනවලදී සමහර ස්ථානවල එබදු වාහනයක් නොමැති බවත් තවත් සමහර ස්ථානවල එබදු වාහන ඇතත් ඒවා පෞද්ගලික හිමිකරුවන්ට අයත් ඒවා බවට සිදුකළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් වාර්තා වෙයි.
එලෙස ව්‍යාජ තොරතුරු ලබාදීම වාහනවල නිත්‍ය හිමිකරුවන්ගේ මනසට රජය සම්බන්ධයෙන් අප්‍රසාදයක් ඇති කිරීම, වගේම රජය අපහසුතාවට පත් කිරීම සේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින්ද නොමඟ යවන තත්ත්වයකට පත්ව ඇතැයි ද වැඩිදුරටත් දැනගන්නට ඇත.
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පරිහරණය කළ වාහනය තරු පහේ හෝටලයක රථ ගාලක දමායාමෙන් අනතුරුව සොයා ගැනීමෙන් පසු ඉකුත් මස 29 වෙනි දිනයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරු ඔස්සේ සොයා බැලූ සෑම පණිවිඩයක්ම ව්‍යාජ තොරතුරු බවට අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.