තමා නැවත CID අධ්‍යක්ෂ කරන්නැයි ශානිගෙන් පෙත්සමක්!

December 21, 2019 at 8:14 am | by emanisalk

ගාල්ල නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස තමාට ලබාදුන් ස්‌ථාන මාරුව වහාම අවලංගු කර නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ධුරයට පත්කිරීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

එලෙස නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ පෞද්ගලික සහකාර ලෙස ස්‌ථාන මාරුවීමක්‌ ලබාදීම තමාව තනතුරින් පහත හෙළීමක්‌ වන බවත් එමඟින් පෙන්වා දී තිබූ ශානි අබේසේකර ඒ නිසා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කොට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 10 ක වන්දියක්‌ අයකර දෙන ලෙසට ද ඉල්ලා තිබිණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්‌පති, අනිවාර්ය නිවාඩු ගන්වා ඇති පොලිස්‌පති පූජිත් ජයසුන්දර, ජාතික පොලිස්‌ කොමිෂන් සභාවේ සභාපති හා එහි සාමාජිකයන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ එහි සාමාජිකයන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපති නම් කොට ඇත.

ජනාධිපතිවරණය නිම වී දින කිහිපයකින් එකී ස්‌ථාන මාරුවීම ලබාදීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්‌ වන බව ද සිය පෙත්සමෙන් සඳහන් කර දී තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර තමා වැනි පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පෞද්ගලික සහකාර වැනි තනතුරකට පත්කිරීම දේශපාලන පළිගැනීමක්‌ වන බව ද නීතිඥ මංජුල බාලසූරිය මඟින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර තිබිණි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස