තමන්ගේ පඩියෙන් සේවකයින්ට දිරි දීමනා දුන් වී අලෙවි මණ්ඩල සභාපති ගෙදර යයි…!

September 15, 2021 at 10:42 am | by emanisa.lk

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම සිය ධුරයෙන් ඊයේ (14 ) ඉල්ලා අස්විය. මණ්ඩලයෙන් තමන්ට ලැබෙන මාසික වේතනය එකතු කර 199 දෙනකු වන සියලු ම සේවකයන්ට පසුගිය වසරේ දී දිරි දීමනා ලබා දීමට කටයුතු කළ සභාපතිවරයා සිය පෞද්ගලික වියදමින් මණ්ඩලයට අයත් ගොඩනැගිලි පවා අලුත්වැඩියා කළ බව එහි සේවකයෝ පවසති.

දිරි දීමනා ලබා දීමට රුපියල් දසලක්ෂයක් අවශ්‍ය වී ඇති අතර සභාපතිවරයාගේ වසරක වැටුප ඒ සඳහා ප්‍රමාණවත් වී නැත. ඒ අනුව ඉතිරි මුදල ද පෞද්ගලිකව ලබා දීමට සභාපතිවරයා කටයුතු කළ බව මණ්ලයේ සුබසාධක සංගමයේ සභාපති පසන් පීරිස් අනාවරණය කරයි.

එමෙන්ම වී වේලන තාක්ෂණයක පේටන්ට් අයිතිය හිමි හෙතෙම අම්පාර, කිලිනොච්චිය, නිකවැරටිය, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල වී වේලන මධ්‍යස්ථාන සිය පෞද්ගලික ධනයෙන් ඉදි කර වී අලෙවි මණ්ඩලයට භාර දී ඇත. එම මධ්‍යස්ථානවලින් තමන්ගේ වී නොමිලේ වේලා එම වී මණ්ඩලයට ලබා දෙන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

එම මධ්‍යස්ථාන ඇති කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇත්තේ මණ්ඩලයට වී ලබා දීම සඳහා ගොවීන් පෙලඹවීමට බවත් එහි සේවකයෝ සඳහන් කරති. සභාපති තනතුර වෙනුවෙන් මණ්ඩලයෙන් ලැබෙන නිල නිවස, දුරකථන පහසුකම් ඇතුළු කිසිදු පහසුකමක් ඔහු ලබාගෙන නොමැත.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමග 2019 වසරේ දී තුන් වසරක කාලයක් සඳහා සභාපති ධුරය භාරගත් හෙතෙම වසර විස්සකට අධික කාලයක් එම මණ්ඩලයේම සේවා අත්දැකීම් සහිත ඉංජිනේරුවරයෙකි. මණ්ඩලයේ සේවය කිරීමෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ආචාර්ය උපාධිය ලබා යළි පැමිණ මෙම තනතුර භාරගෙන ඇත්තේ රටට සේවයක් කිරීමේ අරමුණිනි. සභාපතිවරයා සිය ධුරයෙන් ඉවත් වී ඇත්තේ පෞද්ගලික හේතු මතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස