ආගම යනු දේශපාලන වශයෙන් නන්නත්තාර වූ අයගේ අවසන් නවාතැන්පළ යැයි කියමින් විපක්ෂය විසින් වසර 16කට පසු දළදා වන්දනාවවට අවස්ථාව ලබා දුන් ආණ්ඩුව විවේචනය කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ඨහච්චි සඳහන් කරයි.
“අපි දකිනවා දේශපාලන වේදිකාවල විපක්ෂයේ බොහෝ දේශපාලන සභිකයන් අපිව විවේචනය කරනවා ආගම කියන්නේ දේශපාලනයේ නන්නත්තාර වෙච්ච අයගේ අන්තිම නවාතැන කියලා. අපි උතුම් දළදා වහන්සේ වන්දනා කරන්න මේ රටේ මිනිස්සුන්ට අවුරුදු 16කට පසු උතුම් අවස්ථාවක් දීලා තියෙනවා.
සමහර විට බොන්න වතුර කන්න දෙයක් නැතුව වුණත් මිනිස්සු අව් කාශ්ඨකේ දරාගෙන සැදැහැ සිතින් පෝලිමේ ඉඳලා ගිහිල්ලා දළදාව වඳින්නේ ජීවමාන බුදුන් දකිනවා හා සමානයි කියලා හිතලා.
මිනිස්සු ඒ කැප කිරීම කරලා සැදැහැ සිතින් ඒ වැඩේ කරද්දී අපේ විපක්ෂ අය මයික් ඉස්සරහ කට මැත දොඩවලා නිස්කාරනේ පව් පුරවා ගන්නවා.
අපි විශ්වාස කරනවා ආගමෙන් අපි පටන් ගන්න ඕනේ නැද්ද ආගම අවශ්‍යයි. ඒ කුමක් වුණත් දර්ශනය කුමක් වුණත් මං හිතනවා ඒ ආගම ඇසුරේ අපේ තියෙන ඒ සංහිඳියාව අපි ඇති කරගන්නේ නැත්නම් අපි ක්ලීන් ශ‍්‍රී ලංකා හරහා හදන්න බලාපොරොත්තු වෙන ඒ පිරිසිදු රට දූෂණයෙන් තොර රට අනුන්ට වදයක් බරක් නොවෙන රට ඒක හදන්නේ අපි කොහොමද.
ඒ නිසා මිනිස්සුන්ට ස්වයං හික්මීම කියන එක අවශ්‍යයි. ඒක ඇති කරන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන එකත් මේ රටේ පාලකයන්ගේ වැඩක් තමයි.
මේකෙන් අපි ගත්ත දේශපාලන වාසියක් නෑ. මිනිස්සු ජීවමාන බුදුන් දැක්කා හා සමානයි කියලා තමන්ගේ එලොව මෙලොව ජීවිතය සුවපත් කරගන්නවා. ඒකට අපිට කමක් නෑ. හැබැයි ඒක විවේචනාත්මකව දැකීමෙන් ඒ අයට නම් එලොවටත් මෙලොවටත් තව බොහෝ වැඩ කරගන්න වෙයි කියන එක විතරයි අපිට පේන්නේ.”
කළුතර ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේග මැතිවරණ ප්‍රචාරක ජන හමුවකදී ඇය මෙම අදහස් පළ කළාය.