ඩොලර් 4.8 දෙන සුළං විදුලිය ඩොලර් 8.26ට අරන්… මේ හොරකම් මං ජනාධිපති වෙනකල් විතරයි…! – සජිත්…

June 29, 2024 at 11:36 am | by emanisa.lk

මන්නාරම් ප්‍රදේශයේ මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයක් සෑදීම සඳහා තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව විදුලි ඒකකයක් ඇ.ඩොලර් ශත 8.26ක මුදලකට මිල දී ගැනීමට ගිවිසුම්ගත වීමට රජය එකඟ වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

මෙගාවොට් 500 ව්‍යාපෘතියේ විදුලි ඒකකකයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 8.26ක් වුවත් විදුලි බල මණ්ඩලය මෙගාවොට් 50ක විදුලි බලාගාරයක් වෙනුවෙන් තරගකාරී ක්‍රමයට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ එහි ඒකකයක මිල ඇමෙරිකානු ඩොලර් ශත 4.8ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මෙගාවොට් 50 මිල ගණන් දැන ගන්නා තුරු මෙගාවොට් 500 මිල ගණන් තීන්දු කරන්න එපා යැයි සමගි ජන බලවේගය පැවසුවත් එවා නොඅසා කැබිනට් එක අනීතිකව කමිටුවක් පත් කර දෙවැනි ටෙන්ඩරයේ මිල එළියට එන්නට පෙර මෙගාවෙට් 500 ඉහළ මිල අනුමත කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට මහජන උපයෝගිතා කොමිසම ඒ ගිවිසුම නතර කර ඇති අතර මෙගාවෙට් 500 ව්‍යාපෘතිය තරගකාරීත්වයෙන් තොරව ගිවිසුම්ගතවීම පිළිබඳ නීතිපතිගේ එකඟතාවත් විමසා ඇතැත් ඊට තවම පිළිතුරු නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේ..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (28) රත්නපුර පැවැති සමගි රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සභා රැස්වීම අමතමිනි.

වැඩපුර ගෙවූ ඇ. ඩොලර් ශත ප්‍රමාණය හොරා කෑවේ කවුද කියා දැනගත යුතු බවත් ලැජ්ජා නැතිව ගජමිතුරු ගිවිසුමකට එළැඹුණු අය කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් හෙතෙම කීය. අනීතිකව දේශපාලන වරදාන ලෙස ලබා දෙන බියර් පර්මිට් බාර් පර්මිට් ඇතුළු සියලු වරප්‍රසාද ජනාධිපතිවරණ ජයෙන් පසුව අවලංගු කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. ඒ සඳහා රට බේරා ගත් මානුෂීය මෙහෙයුමට නොදෙවෙනි මෙහෙයුමක් නැවතත් කිරීමට සිදුවන බව ද ඔහු ප්‍රකාශ කරයි.

රණවිරුවන්ගේ මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්න පෙරට එන ලෙස ද එහිදී ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *