ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතු යැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කරයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම ආයතනය පිළිබඳ නිකුත් කළ වාර්තාවේ මේ බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පිළිබඳව කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ඉන් ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම ගැන විමසිලිමත් විය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වේ.
විදුලි සංදේශ පද්ධතියට එල්ල වන සාර්ථක සයිබර් ප්‍රහාරයකට දුරකථන භාවිත කරන්නන් දහස් ගණනකගේ සේවා අඩාළ කිරීම, ගනුදෙනුකරුවන් දස ලක්ෂ ගණනකට අන්තර්ජාල පහසුකම් අහිමි කිරීම, ව්‍යාපාර අකර්මණ්‍ය කිරීම මෙන්ම රජයේ මෙහෙයුම් වසා දැමීම කළ හැකි බව ද එම වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් යනු රටේ පැරැණිතම විදුලි සංදේශ සේවා සපයන්නා වන හෙයින් ඊට දශක ගණනාවක් පුරා විහිදුණු දත්ත පද්ධතියක් තිබෙන අතර එය පෞද්ගලිකරණය කළහොත් එම සියලු දත්ත පෞද්ගලික සමාගම්වලට විවෘත වන බව ද වාර්තාවේ සඳහන් කර ඇත.