ඥාන අක්කගේ හෝටලේ හදන්න හමුදාව යෙදවීම වැරදියි..! රට වෙනුවෙන් සේවය කළ හමුදාවට ගරු කළ යුතුයි..! – අනුර…

December 3, 2021 at 4:54 pm | by emanisa.lk

අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව  ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී  අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුව අමතමිනි.

හමුදා සාමාජිකයන් එතුමාගේ  සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට මෙලෙස යැවීමට   පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන  බව ද  ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි  චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්  තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත්  හෙතෙම සඳහන් කළේය.

හමුදා සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම  වැරදි වැඩක් බව ද  ඔහු පැවසුවේය.

හමුදාවේ පහළ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම  පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බවත් නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයට යොදවා ඇති බවත්  දිසානායක පැවැසීය.

හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා  රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට  ගෞරවය ලබා දිය යුතු බවද  කිවේය.

ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ආහාර වේල ගැනද ආරක්ෂක ඇමැතිවරයා අවධානය යොමු කළ යුතු  බව  ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් ද අද විශේෂ පීඩාවකට ලක්ව සිටින බවත් පොලිස් සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් අනුර දිසානායක පැවැසීය.

රටේ කොස්තාපල්වරුන්  17,500 හිඟයක් පවතින බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස