ඥානසාර හිමිගේ උපදෙස් ගන්න සබ්‍රි සූදානම් නෑ…! ජනපති පැමිණි වහා ඉල්ලා අස්වෙන්න සූදානම්…!

November 3, 2021 at 10:59 am | by emanisa.lk

එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත.

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා පැමිණි පසු අලි සබ්රි ඒ පිළිබඳව ඔහුට දැනුම්දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සූදානම් වන බවට ද දේශපාලන කරලියේ කතා බස්වලදී සඳහන් විය.

මේ අතර මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කරන බව තමා දැන නොසිටි බවත් තමාගේ අදහස් විමසීමකින් තොරව මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳව තමා නොසතුටට පත්ව සිටින බවත් අලි සබ්‍රි සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසුමකදී පසුගියදා ප්‍රකාශ කර තිබිණ. රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවැනි බලකා පිහිටුවීම තේරුමක් නැති වැඩක් බව අධිකරණ ඇමැති අලි සබ්රි වැඩි දුරටත් ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එම බළකායට පැවරෙන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එසේම අධිකරණ අමාත්‍යාංශය එක රටක් එක නීතියක් යන කාරණයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් අධ්‍යයනය කර ඒවා යෝග්‍යතාව සහ සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට එකී යෝජනා ඇතුළත් කිරීම ද මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇති තවත් කාර්යයක් බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස