කාබනික පොහොරින් කුඹුරු වැඩි පුරත් වවයි…! අස්වැන්න ටොන් ලක්ෂ 11කින් අඩුයි..!

November 12, 2022 at 12:12 pm | by emanisa.lk

රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු වගා කළ පළමු මහ කන්නයේ අස්වැන්න, පෙර මහ කන්නයේ වී අස්වැන්නට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොලොස් ලක්ෂයකට අධික ප්‍රමාණයකින් අඩු වී ඇති බව අනාවරණය වී තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් 2021 සහ 2022 වර්ෂයන්ට අදාළව නිකුත් කර ඇති වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.

රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය 2021 වර්ෂයේ ජුනි මස සිට තහනම් කිරීමට පියවර ගැනීමත් සමග එම වර්ෂයේ යල කන්නයේ වගා කටයුතු ඊට පෙර කන්නයෙන් ඉතිරි කර ගන්නා ලද පොහොර භාවිත කරමින් සිදුකිරීමට ගොවීන් කටයුතු කර තිබුණි.

එම සමීක්ෂණ වාර්තා අනුව 2021 වර්ෂයේ මහ කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 681,521ක වී වගාව සිදුකර ඇති අතර ඉන් වී මෙට්‍රික් ටොන් තිස් ලක්ෂ 61,394ක අස්වැන්නක් ලබාගෙන ඇති බව සඳහන් වේ.

2021 මහ කන්නයට සාපේක්ෂව 2022 වසරේ මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 3,643ක් වැඩිපුර වගා කර තිබූ අතර එම කන්නයේ අස්වැන්න ලෙස ලැබී තිබුණේ වී මෙට්‍රික් ටොන් 1931,230ක් බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවල සඳහන් වේ.

මෙලෙස ටොන් 1130,164කින් පමණ අස්වැන්න විශාල ලෙස අඩු වීමට ප්‍රධාන හේතුව 2021 වසරේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *