සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අද (15) තීන්දු කළේය.
එම නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සතොස ආයතනයේ සේවය කළ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම මගින් නඩුවක් ගොනුකර තිබුණි.
එම නඩුව ගොනු කිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනා ලබාදුන් ලිඛිත අනුමැතිය එම කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනුකර නොමැති හෙයින් එය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදහස් කරන ලෙසත් ඔහුගේ නීතිඥවරු විසින් මූලිකව ඉල්ලා තිබුණි.
එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම නඩුව දිගට ම විභාග කිරීමට තීන්දු කළේ ය.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ගනු ලැබූ එම තීරණය නීතියට පටහැනි බව තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
එම ප්රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයාට එරෙහි ව අදාළ නඩුව ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බව ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම පිළිගන්නා බව සඳහන් කළ විනිසුරුවරයා ඒ පිළිබඳ වැඩිදුර කටයුතු කිරීම සඳහා මෙම නඩු තීන්දුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යොමුකරන ලෙසත් නියෝග කළේය.