මටත් හොරා ආණ්ඩුව ජිනීවාවලදී රටයි හමුදාවයි පාවා දීලා! රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ වගකීම දරන මම මේ මුකුත් දන්නේ නෑ! – ජනපති (video)

March 28, 2019 at 7:06 am | by admin

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දුන් යොජනාවලියේ කුමක් සඳහන් වී තිබුණ ද, පවතින ව්‍යවස්ථාවට විරුද්ධව කිසිදු ක්‍රියාවක් සිදු නොකරණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජාත්‍යන්තරය හෝ වෙනත් කිසිවෙකු පවසන අන්දමට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෝ රටේ ස්වාධීනත්වයට හානි වන කිසිවක් සිදුකිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව අවධාරණය කළේ කළුතර, මීගහතැන්න ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (27) පෙරවරුවේ එක්වෙමිනි.

මානව හිමිකම් කොමිසම නිකුත් කරන ප්‍රකාශවල ඇති හරි දේ පිළිගත්ත ද, එහි තිබෙන වැරදි කරුණු පිළිගැනීමට රජය කිසිසේත් සුදානම් නොමැති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර මානව හිමිකම් කොමිසම නිකුත් කර තිබෙන වාර්තාවේ සඳහන් පරිදි අප සම වගකීම් භාරගැනීමේ ප්‍රතිපත්තියකට ඉදිරි වසර දෙකකින් පසු එළැඹෙන බවට පසුගිය පෙබරවාරි 25 වනදා ජිනිවාහි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා මානව හිමිකම් කොමිසම සමඟ සිදුකරන ලද අත්සන් තැබීම තමා කිසිසේත් පිළිනොගන්නා අතර එය දැඩිව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම අත්සන් තැබීම සිදුව ඇත්තේ තම අනුදැනුමකින් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ එහි ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවත් අපේ රටේම පාර්ශ්වවල වැරදි තීන්දු තීරණ හේතුවෙන් සිදුවූ එම සිදුවීම පිළිබඳ තම සම්පූර්ණ විරෝධය පළ කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම එම සිදුවීම තමා දකින්නේ මේ රටේ ත්‍රිවිධ හමුදාව රජය මෙන්ම ජනතාව පාවාදිමක් ලෙස බව සඳහන් කළ ජනාධිපතිවරයා රටේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට මිස ඉන් පහළ අයට නොවන බව ද කියා සිටියේය.

ජීනිවා කොමිසමට යැවීමට නියමිතව තිබූ නියෝජිත පිරිස ද පත්කර තිබුණේ තමා සමඟ කිසිදු සාකච්ඡාවක් නොපවත්වා බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා පෙබරවාරි 25වන දා සිදුවීමෙන් පසු තමා විසින් එම නියෝජිත පිරිස වෙනස් කිරීමට කටයුතු කළ බවත්, විදේශ අමාත්‍යවරයා පසුගියදා එම කොමිසම හමුවේ කළ කතාව රටට ගැළපෙන ආකාරයෙන් සිදු කළ යුතු අන්දම පිළිබඳව ද තමා උපදෙස් ලබාදුන් බවත් ප්‍රකාශ කළේය.

එදා අප රටට එල්ල වූ අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ අද ද වෙනස් ක්‍රමෝපායන් මගින් රටට එල්ලවීමට පටන්ගෙන තිබෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපතිවරයා අපට යහපත් විදේශ සබඳතා තිබිය යුතු නමුත් රටේ දේශපාලනයට සහ රාජ්‍ය පාලනයට එවා මැදිහත් නොවිය යුතු සේම, අද මෙන් ම හෙට දවසේ ද කිසිදු අවස්ථාවක විදේශ බලවේගවලට මේ රට පාලනය කිරීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

කෙසේ වුවද පසුගිය වසර හතර පුරාම ජනාධිපතිවරයා මේ ආකාරයට රටට අහිතකර තීන්දු තීරණ ගත් පසු වේදිකාවල සිට එය විවේචනය කිරීම මිස සිය ජනාධිපති ධුරයේ බලතල සහ වගකීම පිළිබඳ අවබෝධයෙන් ඒවා වැළැක්වීමට කටයුතු නොකළ බවට චෝදනා නැඟෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස